106. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ම නම්වූ කුරුරට වැස්සන්ගේ නියම් ගමක් වේද, එහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට, ´මහණෙනි´ යි කථා කළ සේක. ´පින්වතුන වහන්සැ´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

2. ´´මහණෙනි, වස්තුකාම ක්ලේශ කාමයෝ ඇතිව නැතිවන හෙයින් අනිත්‍ය යන සාරයක් නැති හෙයින් හිස්ය. විනාශ වන්නාහුය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, මෙය මායාවකින් කරන ලද්දක් වැනිය. අඥානයන් විසින් මගේය මගේය කියනු ලබන්නාහුය. මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම ගුණයෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම ගුණයෝ වෙත්ද, මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙත්ද, මේ දෙකොටස මාරයාට යටත්වේ. මෙය මාරයාගේ ස්ථානය වේ. මාරයා දමන කෑම වෙයි. මාරයාගේ කොටු (ගාල්) වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ දැඩි ලෝභයද, ක්‍රොධයද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.

3. ´´මහණෙනි, එහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටසම මාරයාට යටත්ය. මේ මාරයාගේම ස්ථානය වේ. මේ මාරයා විසින් දමන ලද කෑම වේ. මේ මාරයාගේ කොටුව වේ. මේ කාමය අරමුණුකොට මේ සිතෙහි හටගන්නාවූ පවිටුවූ අකුසල්වූ දැඩි ලෝභයෝද, ක්‍රොධයෝද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද පවතිත්. ඔවුහුද මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්. මම වනාහි විපුලවූ මහග්ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්වා, සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක, මම විපුලවූ මහත්ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්වා, සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නාවූ මාගේ යම් සිතෙහි හටගන්නාවූ පවිටුවූ, අකුසල්වූ අභිධ්‍යාවෝද, ව්‍යාපාදයෝද, සාරම්භයෝත් වෙත්ද, ඔවුහු නොවන්නාහ. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නොවූ අප්‍රමාණවූ මොනවට වඩනා ලද්දාවූ සිතක් වන්නේය´ යි සිතන්නේය. මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ, ඔහුගේ සිත රහත් බවට හේතුවූ විදර්‍ශනාවෙහි හෝ ධ්‍යානයට හේතුවූ උපචාර සමාධියෙහි හෝ පහදියි. මනා පැහැදීම් ඇති කල්හි ඉහාත්මයෙහි හෝ කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) නොහොත් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්‍ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද, එය කුසල චතුර්‍ථධ්‍යානයට සමානවූවක් වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවන කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

4. ´´මහණෙනි, නැවතද අනිකක් කියමි. ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´මේ ආත්මයෙහිවූ යම් කාමයෝත් වෙත්ද, පරලෙව්හි යම් කාමයෝත් වෙත්ද, මේ ආත්මයෙහිවූ යම් කාමසංඥාවෝත් වෙත්ද, පරලෙව්හි යම් කාමසංඥාවෝත් වෙත්ද, සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා උපාදාය රූපයයි යම්කිසි රූපයක් වේද, මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකාසානඤ්තායතනයට පැමිණෙන හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි ආකාසානඤ්තායතනයට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්‍ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද එය ආකාසානඤ්තායතන කුසල චිත්තයට සමාන වන්නේය. යන මේ කාරණය ඇත්තේය.

´´මහණෙනි, මේ දෙවෙනිවූ කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

5. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මෙලොවවු යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, යම් මෙලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපයෝත් වෙත්ද, යම් පරලොවවූ රූපයොත් වෙත්ද, යම් මෙලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටස අනිත්‍යය. යමක් අනිත්‍යද, එය සතුටුවන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය. තෘෂ්ණාවෙන් ඇතුළත් කර ගැනීමට නුසුදුසුයයි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි හෝ විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහු උපදින්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණඤ්චායතනයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මේ තුන්වන කෙළෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

6. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´මෙලොවවු යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, යම් ඒ ආකිඤ්චඤ්ඤායතන සමාධියක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතයයි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙහි සිත පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නාවූ විපාක විඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතන කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවැනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

7. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ආරණ්‍යයට පැමිණියේ හෝ වෘක්‍ෂමූලයට පැමිණියේ හෝ සූණ්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මෙය මමය යන දෙයකින් හෝ මගේය යන දෙයකින් හෝ සූන්‍ය වේයයි, මෙසේ පිළිපන්නාවූ එය බහුලකොව වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤා යතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ දෙවෙනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´කිසි තැනක මමයයි කිසිවෙක් නැල. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවෙක්ද නැතැ´ යි. මෙසේ පිළිපන්නාවූ එය බහුලකොව වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වේ යන මේ කාරණය ඇත්තේය.

මහණෙනි, මේ තුන්වෙනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

9. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´මෙලොවවු යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, යම් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතය´ යි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතන හේතුවෙහි පහදියි. මේ ආත්මයෙහි පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

10. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ඉදින් මා විසින් පෙර කර්‍ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතනේය. ඉදින් දැන් කර්‍ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේය. දැන් යම් පඤ්චස්කන්‍ධයක් ඇත්තේද, එය දුරු කරමි´ යි මෙසේ විදර්‍ශනා උපෙක්‍ෂාව ලබයි. ස්වාමීනි, මේ මහණතෙම පිරිනිවියේද?´´

´´ආනන්‍දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේය. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේය´´ යි වදාළේය. ´´ස්වාමීනි, යම් හෙයකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේද. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?´´ ´´ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවේ. මා විසින් පෙර කර්‍ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේය. ඉදින් දැන් කර්‍ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්‍ධයක් ඇත්තේද, එය දුරු කරමි´ යි මෙසේ විදර්‍ශනා උපෙක්‍ෂාව ලබයි. හෙතෙම ඒ උපෙක්‍ෂාවට මමය මාගේයයි සතුටුවෙයි. මමය මාගේයයි කියායි. මමය මාගේයයි තෘෂණාවෙන් බැස ගනියි. ඒ උපෙක්‍ෂාවට සතුටු වන්නාවූ මමය යනාදීන් කියන්නාවූ, තෘෂ්ණාවෙන් බැස ගත්තාවූ උපෙක්‍ෂාව විඤ්ඤාණය ඇසුරු කර ලද්දේ වෙයි. එය දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්‍දය, දැඩිකොට අල්වා ගැනීම සහිතවූ මහණතෙම පිරිනිවන් පාන්නේ නොවෙයි.´´ ´´ස්වාමීනි, දැඩිකොට අල්වා ගන්නාවූ ඒ මහණතෙම කුමක් දැඩිසේ අල්වා ගනීද?´´ ´´නෙවසඤ්ඤානාසඤ්ඤායතනය´´ යි වදාළේය. ´´ස්වාමීනි, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වා ගනු ලබන ශ්‍රෙෂ්ඨවූ භවය අල්වා ගනියි.´´ ´´ආනන්‍දය, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වා ගනු ලබන ශ්‍රෙෂ්ඨවූ භවය අල්වා ගන්නේය. ආනන්‍දය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක් වේද, මෙය වනාහි දැඩිව අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨ භවයයි.

11. ´´ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ´පෙර මා විසින් කර්‍ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේය. දැන් කර්‍ම රැස් නොකෙළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්‍ධයන් වේද, එය දුරු කරමි´ යි මෙසේ විදර්‍ශනොපෙක්‍ෂාව ලබයිද, හෙතෙම ඒ උපෙක්‍ෂාවට ´මමය මාගේය´ යි සතුටු නොවෙයි. ´මමය මාගේය´ යි නොකියයි. එහි තෘෂණාවෙන් බැසගෙන නොසිටියි. ඒ උපෙක්‍ෂාවට සතුටු නොවන්නාවූ, ´මමය මාගේය´ යි නොකියන්නාවූ, එහි බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ එය ඇසුරු කළාවූ, විඤ්ඤානය නොවෙයි. එය දැඩිකොට අල්වා ගැනීම නොවෙයි. ආනන්‍දය, දැඩිව අල්වා ගැනීම නැත්තාවූ පිරිනිවන් පාන්නේය´´ යි වදාළසේක.

12. ´´ස්වාමීනි, ආශ්චය්‍ර්‍යය, ස්වාමීනි, අද්භූතය, ස්වාමීනි, ඒ ඒ සමාපත්තිය ඇසුරුකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඕඝයන්ගේ එතර කිරීම වදාරණ ලදී. ස්වාමීනි, ආය්‍ර්‍යවූ විමොක්‍ෂය කවරේද?´´

´´ආනන්‍දය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කරයි . ´මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද. පරලොවවූ කාමයොත් වෙත්ද, මෙලොවවූ යම් කාමසංඥාවොත් වෙත්ද. පරලොවවූ යම් කාම සංඤාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපසංඥාවෝත් වෙත්ද. පරලොවවූ යම් රූපසංඤාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය නම් වූ ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේද, එය අමෘතය නම් වේ.

13. ´´ආනන්‍දය, මෙසේ වනාහි මා විසින් කම්පා නොවන, ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරන ලදී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒ ඒ සමාධි ඇසුරුකොට ඕඝයන්ගේ එතර කිරීම දේශනා කරන ලදී. ආය්‍ර්‍යවූ විමොක්‍ෂය දේශනා කරන ලදී. ආනන්‍දය, ශ්‍රාවකයනට වැඩ කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ ශාස්තෘහු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද, මා විසින් එය තොපට කරන ලදී. ආනන්‍දය, මේ වෘක්‍ෂමූල වෙත්. මේ සූන්‍යාගාර වෙත්. ආනන්‍දය, ධ්‍යාන කරව්. (සමාධි උපදවව්.) ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාව වේ´´ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

ආනෙඤ්ජ සප්පාය සූත්‍රය නිමි. ( 1 – 6 )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: