85. බොධිරාජ කුමාර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාරගිරි නම් නගරයට සමීපවූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්.

එකල්හි බොධිරාජ කුමාරයාගේ කොකනද නම් ප්‍රාසාදය කරවන ලද නොබෝ කල් ඇත්තේ වෙයි. එහි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මණුෂ්‍ය වූ කිසිවකු විසින් වාසය නොකරණ ලද්දේය. එකල්හි බොධිරාජ කුමාර තෙමේ සඤ්ජිකා පුත්ත නම් මානවකයා කැඳවී. කැඳවා, ´´යහළු සඤ්ජිකා පුත්තය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මස්තකයෙන් වඳුව.

´ස්වාමීන් වහන්ස, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් වඳීයි. ආබාධ නැතිකම, රෝග නැතිකම, සිත කය දෙකේ සැහැල්ලු බව, කාස බව සැප විහරණය අසන්නේය´ යි ආබාධ නැතිකම, රෝග නැතිකම, කය සිත්හි සැහැල්ලු කම, කාය බලය, විහරණ සැපය අසව.

´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වා´ යයි කියව. තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ, ´´එසේය´´ කියා බොධිරාජ කුමාරයාට උත්තර දී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී, සතුටු විය යුතු, සිහි කටයුතු කතාව කොට අවසන්ව එක් පසෙක්හි හිඳගත්තේය.

2. එක් පසෙක හුන් තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ, භාග්‍යවතුන් වහන්සේට ´භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳීයි, නිරෝග බව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද, පින්වත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වා යි කියා´ යි ද කීය. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.

ඉක්බිති තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට බොධිරාජ කුමාර තෙම යම් තැනකද එහි පැමිණියේය.

3. පැමිණ බොධිරාජ කුමරුට මෙසේ කීය. ´´පින්වතුන්ගේ වචනයෙන් ඒ පින්වත් ගෞතමයන් වහන්සේට ´ භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳීයි, නිරෝගීබව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද, පින්වත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංයා සමග බොධිරාජ කුමාරයාගේ හෙට දවස් පිණිස බත ඉවසන සේක්වා යි කියායයි ද අපි කීවෙමු. එය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉවසන ලද්දේ වෙයි.´´

ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ එය රැය ඉක්මවීමෙන් තම නිවසෙහි ප්‍රණීත ආහාර පාන වර්‍ග පිළියෙල කරවා කොකනද ප්‍රාසාදය අන්තිම තරප්පු පුවරුව (පඩිය) තෙක්ම සුදු වස්ත්‍ර අතුරවා, තරුණ සඤ්ජිකා පුත්‍රහට කථා කෙළේය. ´´ යහළු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනක නම් එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ´ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. කාලය වේ යයි කාලය දන්වව.´´

´´පින්වත, එසේය කියා තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ තරුණ බෝධිරාජ කුමරුට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ, ´´ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. වැඩීමට කාලයයි,´´ භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ බොධිරාජ කුමරුගේ ගෙදොර යම් තෙනකද එහි වැඩි සේක. එවේලෙහි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම බලමින් පිට දොරටුවෙහි සිටියේ වෙයි. බොධිරාජ කුමාර තෙමේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරටුව කොකනද ප්‍රාසාදය යම් තෙනකද එහි පැමිණියේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ අන්තිම තරප්පු පුවරුව (පඩිය) ලඟ වැඩ සිටියහ. එකල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වා´´ යි කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී. දෙවනුවද, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සේක්වා සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වා´´ යි කීය. දෙවනුවද, භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූහ. තෙවනුවත්, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස, වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සේක්වා සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වා´´ යි කීය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍දයන් දෙස බැලී. අනතුරුව ආයුෂ්මත් ආනන්‍ද තෙමේ බොධිරාජ කුමරුට මෙසේ කීය. ´´රාජ කුමිරයනි, වස්ත්‍ර අස්කරවා භාග්‍යවතුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිත්´´ කීය. ´´තථාගතයන් වහන්සේ පසු ජනතාව බලන්නාහ´´ යි කීය.

ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ පාවාඩ හකුළුවා කොකනද ප්‍රාසාදයෙහි අසුන් පැනවී. එවිට භාග්‍යවතුන් වහන්සේ කොකනද පහයට නැග පැනවූ අස්නෙහි භික්‍ෂු සංයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාර තෙමේ බුදුන් ප්‍රධාන භික්‍ෂු සංයා ප්‍රණිතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳීන් වැළඳවීය. ඇතිතාක් වැළඳවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් අත ඉවත්කළ කල්හි, බොධිරාජ කුමාර තෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙක හුන් බොධිරාජ කුමර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීන් වහන්ස, මාගේ මේ අදහසෙක් වෙයි. සැපයෙන් සැපයට නොපැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය යන මෙබඳු අදහසක් මට පහළවිය´´ යනුයි.

6. ´´රාජ කුමාරයිනි, චතුස්සත්‍යාවබෝධ කිරීමට පලමු බුදු නොවූ බෝධිත්‍ව කාලයේදීම මා හටත් ´සැපයෙන් සැපයට නොම පැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය´ යන අදහස පහළවිය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ, සියලු ආකාරයෙන් සම්පූර්‍ණවූ ලියවනලද සකක් බඳුවූ, මේ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපාහැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙහි නම් ඉතා යෙහෙකැයි, රාජ කුමාරය, කියා ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මව් පියන් අඬද්දී, හිසකෙස් දැළි රැවුල් කපා හැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.´´

මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්‍වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.

´ඇවැත්නි, කාළාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි´ යි (කීවෙමි.) රාජකුමාරය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙය කීවේය. ´´ යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්‍මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා´´ (කියායි.)

7. ´´රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්‍මය අසාම ඉගෙන ගත්තෙමි. රාජකුමාරය, ඒ මම (කියන්ට) තොල පෙරලූ පමණින්, (ඔහු) කියන දේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිම්යයි කීමද) කියමි. ථෙර වාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්‍මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් අවබෝධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාරකාලාම තෙම මේ ධර්‍මය දැන දැක වාසය කරයි. (කියායි.) රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස් ආළාරකාලාම හට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, කාළාමයෙනි, කොපමණකින් මේ ධර්‍මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ´ යි (කියායි.)

8. ´´රාජකුමාරය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැක්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ´ ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්‍මයක් තමාමනුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්‍මය අත්කර ගැනීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය´ (කියායි.)

´´රාජකුමාරය, ඒ මම ඒ ටික කලකින් වහාම ඒ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස් ´ ඇවැත්නි, කාළාමයෙනි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ´ යි (ඇසීමි.) ´ඇවැත්නි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය´ යි ( ආළාරකාලාම තෙම) කීය. ´ඇවිත්නි මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි´ යි (කීවෙමි.) ´ඇවැත්නි, යම් බඳවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචය්‍ර්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්‍මයක් දන්නෙම්ද, ඔබද ඒ ධර්‍මය දන්නෙහිය. යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නෙහිද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද, ඔබත් එබඳුය. ඔබ යම් බඳුද, මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරවු´ යි (කීවේය.) රාජකුමාරය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.

9. ´´රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ´මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතියි. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතියි. නිර්‍වානය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

´´රාජතුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තරවූ උතුම් නිර්‍වාණය සොයන්නේ උද්දකරාමපුත්තතෙම යම් තැනකද එතැනට පැමිණිනෙමි. පැමිණ උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචය්‍ර්‍යාව රකින්ට මම කැමැත්තෙමි.´ (කීවෙමි.) ´´රාජකුමාරය, මෙසේ කීකල්හි උද්දකරාමපුත්තතෙම මට මෙසේ කීවේය. ´යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාය්‍ර්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා.´ (කියායි.)

10.´´රාජකුමාරය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි. රාජකුමාරය, ඒ මම කීමට තොල සෙලවූ පමණින් වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි දකිමි යි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ´උද්දකරාමපුත්තතෙම මේ ධර්මය ඇදහීම පමණකින් තමාම උසස් නුවණින් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමියි, නොකියයි. උද්දකරාමපුත්තතෙම මේ ධර්මය දැන, දැක වාසය කළේය´ යි (මට කල්පනාවිය.) රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ´ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ´ යි (කියායි.)

´´රාජකුමාරය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. රාජකුමාරය, ඒ මට මේ සිත විය. ´ රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීය්‍ර්‍යය ඇත්තේ නොවෙයි. මටද වීය්‍ර්‍යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්තතෙම යම් ධර්‍මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්‍මය තමන්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම පිණිස වීය්‍ර්‍යය කරන්නෙම් නම් යහපත්ය´ (කියායි.)

11 ´´රාජකුමාරය, ඒ මම ඒ ටික කලකින් වහාම ඒ ධර්‍මය තමාම නුවණින් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස් උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි.

ඇවැත්නි, රාමයෙනි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණෙකින්දැ´ යි ඇසීමි. ´ඇවැත්නි, මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය´ යි ( උද්දකාරාම තෙම) කීය. ´ඇවැත්නි මමද මෙපමණකින් මේ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කරමි´ යි කීවෙමි.

´ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්‍මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්‍මය නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය, ඔබ යම් ධර්‍මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්‍මය දැන අවබෝධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්‍මයක් දන්නේද, ඔබ ඒ ධර්‍මය දන්නෙහිය. ඔබ යම් ධර්‍මයක් දන්නේද, මමද ඒ ධර්‍මය දන්නෙමි. මෙසේ මම යම් බඳුද, ඔබත් එබඳුය. ඔබ යම් බඳුද, මමත් එබඳුය. ඇවැත්නි, එව. දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු´ යි (කීවේය.) රාජකුමාරය, මෙසේ මාගේ ආචාය්‍ර්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.

12. ´´රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. ´මේ (තාපස) ධර්‍මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී. (දතයුතු ධර්‍මයන්) දැනීම පිණිස නොපවතී. (චතුරාය්‍ර්‍ය සත්‍යය) අවබෝධය පිණිස නොපවතී. නිර්‍වානය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. රාජකුමාරය, ඒ මම ඒ ධර්‍මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්‍මයෙන් ඉවත්ව ගියෙමි.

´´රාජකුමාරය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින් නිරුත්තරවූ නිර්‍වාණය සොයමින්, මගධ ජනපදයෙහි පිළිවෙළින් ගමන් කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානි නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලිතලා ඇත්තාවූ, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරුගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද, වන ලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ඒකාන්තයෙන් භූමි ප්‍රදේශය සිත් අලවන්නේය. වනලැහැබ සතුට උපදවන්නේය. සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීය්‍ර්‍යය කරන කුලපුත්‍රයෙකුට වීය්‍ර්‍යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. රාජකුමාරය, ඒ මම මේ ස්ථානය වීය්‍ර්‍යය කිරීමට සුදුසුයයි සිතා වීය්‍ර්‍යය වැඩීම පිණිස එහිම උන්නෙමි.

13. ´රාජකුමාරය, මට ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූ විරූ උපමා තුනක් වැටහුනාහුය. රාජකුමාරය යම් සේ කිරි සහිතවූ අමු දියේ දමන ලද තෙත්වූ (දිඹුල්) ලී කැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනි ගානා දණ්ඩක් ගෙන ´ගිනි නිපදවන්නෙමියි, ගින්දර ඇතිකරන්නෙමි´ යි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලන ලද ඒ කිරි සහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය. කිරි සහිතය. එපමණක් නොව ජලයෙහිද බහාලන ලද්දේය. (එහෙයිනි.) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂ තෙම ක්ලාන්තයටද, වෙහෙසටද, පැමිණීම පමණක් සිදුවන්නේය.´´ ´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ පවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳත්. ඔවුහු ආය්‍ර්‍ය මාර්‍ග ඥාන දර්‍ශනයටද, නිරුත්තරවූ අවබෝධයටද, නුසුදුස්සෝමය. රාජකුමාරය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූවිරූ, මේ පළමුවන උපමාව මට වැටහුණි.

14. ´´ රාජකුමාරය, ආශ්චය්‍ර්‍යවූ, පෙර නොඇසූවිරූ, අන්‍යවූ, දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. රාජකුමාරය, යම්සේ කිරි සහිතවූ අමු (දඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩ බිමෙහි බහා තබන ලද්දේ වේද, ඉක්බිති පුරුෂයෙක් තම ගිනි ගානා දණ්ඩ ගෙන ´ගිනි නිපදවන්නෙමියි, ගින්න පහළකරන්නෙමි´ යි, කියා එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගිනි පහළ කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත් :- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩ බිමෙහි දමා තිබුනත් කිරි සහිතය. කිරි සහිතය. (අමුය.) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද, පත්වීම පමණක් නම් සිදුවන්නේය.´´ ´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳත්. ඔවුහු ආය්‍ර්‍ය ඥාන දර්‍ශනයටද, නිරුත්තර අවබෝධයටද, නුසුදුස්සෝමය.

´´ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් ඉදින් නොවිඳීන්නාහුද, ඥාන දර්‍ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබෝධයටද, නුසුදුස්සෝමය. රාජකුමාරය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවය.

15. ´´ රාජකුමාරය, පුදුමවූ, පෙර නොඇසුවාවූ, තුන්වෙනිවූ, අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. රාජකුමාරය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ´ගිනි නිපදවන්නෙමි, ගින්න ඇතිකරන්නෙමි´ යි, එන්නේය. රාජකුමාරය, ඒ පුරුෂතෙම වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබන ලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද, ගින්නඇති කරන්නේද?´´ ´´භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේවෙයි. කිරි සිඳුනේ වෙයි. දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.´ ´´ රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාම වස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මූර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ කාම ආශාව අද්ධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳීන් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳත්. ඔවුහු මාර්‍ග ඥාන දර්‍ශනය පිණිස, නිරුත්තරවූ අවබොධය පිණිස සුදුසුසෝමැයි. රාජකුමාරය, ආශ්චය්‍ර්‍යවූ පෙර නොඇසූ විරූ මේ උපමා තුන මට වැටහුනාහුය.

16.´´ රාජකුමාරය, ඒ මට මේ සිත පහළවිය. ´යම්හෙයකින් මම යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත්මිටි කාගෙන) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නේ නම්, පෙළන්නේනෙම් නම් යෙහෙක (කියායි.)රාජකුමාරය, ඒ මම දත්මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි. පෙළමි. තවමි. රාජකුමාරය, දත්මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

´´රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තෙම වඩා දුර්‍වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම දත්මිටි කාගෙන, දිව උඩු තල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.

17. ´´රාජකුමාරය, මා විසින් නොහැකුළුනු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීය්‍ර්‍යර්‍යෙන් මඩනා ලද්දාවූම මාගේ ශරීරය දාහ සහිතවිය. නොසන්සිඳුනේ විය. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ´යම් හෙයකින් මම ආශ්වාස කිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක´ (කියාය.) රාජකුමාරය, ඒ මම කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, කටින්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිÈරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම රාජකුමාරය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

18. ´´ රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූද, මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ´යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක´ (කියායි.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාක් මෙන් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද එපරිද්දෙන්ම රාජකුමාරය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස් මුදුන පලන්නාසේ වෙයි.

19.´´රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නේ නම් යෙහෙක´ (කියාය.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වේදනාව ඇතිවෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කනින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇතිවෙයි.

20. ´´රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක´ (කියාය.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූවෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතයෝ කුස සිඳීත්.

´´ රාජකුමාරය, දක්‍ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම් සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නා සේ වෙයි.

21. ´´රාජකුමාරය, මා විසින් නොහැකුළුණු වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. ´ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක´ (කියායි.) රාජකුමාරය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. රාජකුමාරය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. රාජකුමාරය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වල පුරුෂයෙකු අත් දෙකින් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, රාජකුමාරය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.

22. ´´රාජකුමාරය, මා විසින් වීය්‍ර්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීය්‍ර්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. රාජකුමාරය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

´´එකල්හි දෙවතාවෝ මා දැක මෙසේ කීහ. ´ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය´ (කියායි.) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ´ ශ්‍රමණ ගෞතම තෙම කළුරිය නොකෙළේය එහෙත් කළුරිය කරන්නේය´ (කියායි.) ඇතැම් දේවතා කෙනෙක් ´ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ´ යි (කීහ.)

23.´´ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක´ (කියායි.) රාජකුමාරය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ´නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටියහොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීර ගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.´ රාජකුමාරය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) රාජකුමාරය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

24. ´´රාජකුමාරය, ඒ මට මේ සිත පහළ විය. ´යම් හෙයකින් මම පතක් පතක් පමණක් මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳීන්නෙම් නම් යෙහෙකි. (කියායි.)

´´ රාජකුමාරය, ඒ මම පතක් පමණක් මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. රාජකුමාරය, ඒ මම පතක් පමණක් මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වයස් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම් සේද මාගේ ඇඟපසඟ ඒ නිරාහාර භාවය නිසාම එබඳු විය. ඔටු පියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරුවිය. රැහැණක ඇවුණූ දරවැටිය යම් සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටි වෙයි. යම් සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉල ඇට උඩු යටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳක දියයට පෙණෙන තරු ගැඹුරට ගියාහු, යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වල ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නට ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව් සුළඟින් හැකුලුනේද මැලවුනේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

´´ රාජකුමාරය, ඒ මම බඩේ සම අතගාන්නෙමියි පිට කටුවම අත ගාන්නෙමි. පිට කටුව අල්වමියි බඩේ සම අල්ලමි. රාජකුමාරය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඩේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මූත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. ´´ රාජකුමාරය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

´´ රාජකුමාරය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතම තෙම කලුය´. ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය.´ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ´ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි. පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.´ රාජකුමාරය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවු, ශරීර වර්‍ණය ඒ නිරාහාර භාවය නිසාම නැසුනේ වෙයි.

25.´´රාජකුමාරය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්‍තමාන කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂකර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්‍මයට වැඩිවූ ආය්‍ර්‍ය භාවය ඇති කිරීමට සමත්‍ර්‍ථවූ ඥානදර්‍ශන විශෙෂයක් නොලබමි. මාර්‍ගාවබෝධය පිණිස අන්‍ය මාර්‍ගයෙක් ඇත්තේදැයි (කල්පනාවිය.)

26.´´ රාජකුමාරය, ඒ මට මේ අදහස විය. මම පියවූ ශුදේධාදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්‍ක සහිතවූ විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්‍ගය මාර්‍ගඥාන අවබෝධය පිණිස වන්නේයි (අදහස් විය). රාජකුමාරය, ඒ මට අවබෝධය පිණිස මේ මාර්‍ගයමයැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. රාජකුමාරය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක් වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය). රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වූ, යම් ඒ සැපයක් වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කියාය). රාජකුමාරය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙතරම් දුර්‍වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම් හෙයකින් මම බත් හා කොමුපිඩු ආදී ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)

27.´´ රාජකුමාරය, ඒ මම බත්, කොමුපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. රාජකුමාරය, ඒ කාලයෙහි ´ශ්‍රමණ ගෞතම තෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය´ යන අදහසින් භික්‍ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. රාජකුමාරය, යම් කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්‍ෂූහු ´ශ්‍රමණ ගෞතම තෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීය්‍ර්‍යය කිරීමෙන් පිරිහුණේයැ´ යි කියා කලකිරී බැහැර ගියාහුය.

´´ රාජකුමාරය, ඒ මම ඕලාරික ආහාර ගෙන ශරීර ශක්තිය ලැබ, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

28.´´විතර්‍ක විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, වීතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන් දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

29.´´ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අඞ්ගන (රාගාදී කෙළෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි, පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්‍වෙනිවාසය (පෙර උපන් ජාති) සිහිකරමි. එනම් එක් ජාතියන්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්‍ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම

එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්‍ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක්වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි.´ යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

´´ රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

30. ´´ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එතඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසිදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අඞ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවු, මිනිස් බව ඉක්මවා සිටි දිව ඇසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්‍මය පරිදි මිය ගියාවූ, සත්‍වයන් දකිමි.

´´එකාන්තයෙන් මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක්දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් කීවාහු, මිත්‍යාදෘෂ්ටි ගත්තාහු, මිත්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනො සුචරිතයෙන් යුක්තවූවාහු, ආය්‍ර්‍යයන්ට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්‍ණ ඇත්තාවූද, මනා වර්‍ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්‍වයන් දනිමි.

31. ´´ රාජකුමාරය, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. රාජකුමාරය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

´´ඒ මම මෙසේ සිත එතඟවූ කල්හි, පිරිසිදුˆවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදු වූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්‍ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමූයෙමි. ඒ මම, ´මෙය දුකය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක් ඉපදීමට හේතුවය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක් නැතිකිරීමය´ යි තතුසේ දත්තෙමි. ´මේ දුක නැති කිරීමේ මාර්‍ගයය´ යි තතුසේ දත්තෙමි. ´මොහු ආශ්‍රවයෝය´ යි තතුසේ දැන ගතිමි. ´මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය´ යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන් නැතිකිරීමය´යි තතුසේ දැනගතිමි. ´මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්‍ගය´ යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි ´මිදුනේය´ යි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවරවිය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරනලදී. ´කළයුතු අනිකක් නැත්තේය´ යි දැනගතිමි.

32. ´´රාජකුමාරය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්‍ෂයකරඥානය නම්වූ අර්හත් මාර්‍ගය) මා විසින් ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.

´´රාජකුමාරය, භික්‍ෂූන් තෙනමකට අවවාද කරමි. භික්‍ෂූන් දෙනමක් පිඬු පිණිස හැසිරෙති. දෙනමක් පිඬු පිණිස හැසිර යම් ආහාරයක් ගෙණෙත්ද, එයින් සදෙනම යැපෙමු. එකල්හි රාජකුමාරය, මා විසින් මෙසේ අවවාද කරණ ලද, අනුශාසනා කරණ ලද, පස්වග මහණහු යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන්කොට ඇති, ඒ උත්තම අර්‍හත්ඵලය ඉහාත්මයෙහිම කෙමේ විශෙෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කළාහුය´´ යි වදාළේය.

33. ´´මෙසේ වදාළ කල්හි බෝධිරාජ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´ස්වාමීනි, කොපමණ කලකින් තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නාවූ භික්‍ෂුකෙම යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්වම ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවරකොට ඇති ඒ උත්තම සැපත මේ ආත්මයෙහි තෙමේ විශේෂ නුවණින් දැන ඊට පැමිණ වාසය කරද්දැ´´ යි ඇසී. ´´එසේ නම්, රාජකුමාරය, මේ කාරණය තොපගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ කියව. රාජකුමාරය, ඔබ ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ ඇතුන් පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පයෙහි දක්‍ෂවෙහිදැ´´ යි (ඇසී.) ´´ස්වාමීන් වහන්ස, එසේය. ඇතුන් පිට නැගෙන හෙන්ඩු ගන්න ශිල්පයෙහි මම දක්‍ෂයෙක් වෙමි.´´ ´´ඔබ කුමක් සිතන්නෙහිද? බෝධිරාජ කුමාරතෙම ඇතුන් පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය දනියි. මම ඔහු වෙත ඇතුන් පිට නගින හෙණ්ඩු ගන්න ශිල්පය පුහුණු කරන්නෙමැයි මෙහි (කිසියම්) පුරුෂයෙක් පැමිණෙන්නේය.

34. ´´ඒ පුද්ගලතෙමේ ඇදහීම් නැත්තෙක් හෙවත් කියන දේ නොපිළිගන්නෙක් වෙයිද, ඇදහීමෙන් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම බොහෝ ආබාධ ඇත්තෙක් වෙයිද, නීරෝගීවූවෙකු විසින් යමකට පැමිණියයුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කෛරාටික රැවටිලි කාරයෙක් වෙයිද, යමක් කෛරාටික නොවන රැවටිලිකාරයෙක් නොවන්නකු විසින් යමකට පැමිණියයුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම කුසීතයෙක් වෙයිද, බලවත් වීය්‍ර්‍ය ඇත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට නොපැමිණෙන්නේද, හෙතෙම නුවණැත්තෙක් වෙයිද, නුවණැත්තෙකු විසින් යමකට පැමිණියයුතුනම් ඊට නොපැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමක් සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඔබගෙන් ඇතුපිට නැගෙන හෙන්ඩුව ගන්න ශිල්පය කිම ඉගෙනගන්නේද?´´

´´ස්වාමීන් වහන්ස, ඒ එක් කරුණකින්ද යුක්තවූ පුරුෂතෙම මා වෙතින් ඇතු පිට නැගෙන හෙණ්ඩුව ගන්නා ශිල්පය නොඋගනියි. කරුණු පසින්ම යුක්තනම් කියනුම කිම?´´

35.´´රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? බොධිරාජ කුමාරතෙම ඇතු පිට නැගෙනා හෙණ්ඩු ගන්නා ශිල්පය දනියි. මම ඔහු සමීපයෙහි ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය හික්මෙන්නෙමි´ යි සිතා පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඇදහීම ඇත්තෙක් වෙයිද, යමක් අදහන්නෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම ආබාධ නැත්තෙක් වෙයිද, ආබාධ නැත්තෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නෙක් වෙයිද, හෙතෙම කෛරාටිකයෙක් රැවටිලිකාරයෙක් නොවන්නේද, කෛරාටිකයෙක් නොවන අවංක පුද්ගලයෙකු විසින් යමකට පැමිණිය යුතු නම් ඊට පැමිණෙන්නේද, හෙතෙම බලවත් වීය්‍ර්‍ය ඇත්තෙක් වෙයිද, බලවත් වීය්‍ර්‍ය ඇත්තෙකු විසින් යමකට පැමිණියයුතුනම් ඊට පැමිණෙන්නේද, හෙතෙම නුවණ ඇත්තේ වෙයිද, නුවණැතියෙකු විසින් යමකට පැමිණියයුතු නම් ඊට පැමිණෙන්නේද, රාජකුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඔබ වෙතින් කිම උගන්නේදැ´ යි ඇසී. ´´ස්වාමීනි, මේ එක් කරුණකින් යුක්තවූද පුරුෂතෙම ඇතුපිට නැගෙන හෙණ්ඩු ගන්නා ශිල්පය ඉගෙනගන්නේය. කරුණු පසින් යුත්කල කියනුම කවරේද?

36.´´රාජකුමාරය, එපරිද්දෙන්ම වීය්‍ර්‍ය කිරීම පිණිස පවත්නා අඞ්ග පසක් වෙති. රාජකුමාරය, මේ සස්නෙහි මහණතෙම ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වෙයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත්ය, සම්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘය, චතුස්සත්‍ය අවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන් වහන්සේගේ බුදු බව අදහන්නේද?´´

´´වැඩිද නොවූ, අඩුද නොවූ, වීය්‍ර්‍ය කිරීමට සුදුසු සමවූ ආහාර පැසවන ගින්නෙන් යුක්තවූ, නීරෝගී ආබාධ නැති පුද්ගලයෙක් වෙයිද, ශාස්තෘන් වහන්සේ ඉදිරියෙහිද නුවණැතියෙක්ව මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහිද තමා පිළිබඳ ඇතිතතු ප්‍රකාශ කරණ කපටි නොවූ අවංක පුද්ගලයෙක් වෙහිද, අකුශල ධර්‍මයන් පහකිරීම සඳහාද, කුශල ධර්‍මයන් ඉපදවීම සඳහාද, පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තෙක්දැයි වීය්‍ර්‍ය ඇත්තෙක් කුශල ධර්‍මයන්හි බර බහා නොතැබූ පුද්ගලයෙක් වන්නේද, ආය්‍ර්‍යවූ ධර්‍මයන් විනිවිද දක්නාවූ මනා කොට දුක් කෙළවර කිරීමට පමුණුවන්නාවූ, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නාවූ, නුවණින් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූවෙක් වන්නේද,

37.´´රාජකුමාරය, මේ වනාහි වීය්‍ර්‍ය වැඩීම පිණිස පවත්නා අඞ්ග පස වෙති. රාජකුමාරය, මේ වීය්‍ර්‍ය වැඩීම පවත්නා අඞ්ග පසින් යුත් භික්‍ෂුව තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උත්තම අර්‍හත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සත්වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

38. ´´ රාජකුමාරය, සත්වස තිබෙත්වා, මේ වීය්‍ර්‍ය වැඩීම පවත්නාවූ අඞ්ග පසෙන් යුත් මහණ තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සය වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

39. ´´ රාජකුමාරය, සය වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම යහපත්ව ශාසනයෙහි පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට පස් වසකින් එයට පැමිණ වාසය කරන්නේය.

40. ´´ රාජකුමාරය, පස් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙක් ලබන්නේ, යම් අත්‍ර්‍ථර්‍යක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සිව් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

41.´´ රාජකුමාරය, සිව් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට තුන් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

42.´´ රාජකුමාරය, තුන් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙත්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට දෙ වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

43.´´ රාජකුමාරය, දෙ වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසෙන් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එක් වසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

44.´´ රාජකුමාරය, එක් වසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සත් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

45.´´ රාජකුමාරය, සත්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සය මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

46.´´ රාජකුමාරය, සයමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට පස් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

47.´´ රාජකුමාරය, පස්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට සාර මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

48.´´ රාජකුමාරය, සාරමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයෙහිදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට තුන් මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

49.´´ රාජකුමාරය, තුන්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුල පුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට දෙමසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

50.´´ රාජකුමාරය, දෙමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එක්මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

51.´´ රාජකුමාරය, එක්මසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට අඩ මසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

52.´´ රාජකුමාරය, දෙමසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් සතකින් ඊට පැමිණ වාසය කරන්නේය.

53.´´ රාජකුමාරය, රෑ දාවල් සතක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් සයකින් ඊට පැමිණ වාසය කරන්නේය.

54.´´ රාජකුමාරය, රෑ දාවල් සයක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් පසකින් ඊට පැමිණ වාසය කරන්නේය.

55.´´ රාජකුමාරය, රෑ දාවල් පසක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් සතරකින් ඊට පැමිණ වාසය කරන්නේය.

56.´´ රාජකුමාරය, රෑ දාවල් සතරක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් තුනකින් ඊට පැමිණ වාසය කරන්නේය.

57.´´ රාජකුමාරය, රෑ දාවල් තුනක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට රෑ දාවල් දෙකකින් ඊට පැමිණ වාසය කරන්නේය.

58.´´ රාජකුමාරය, රෑ දාවල් දෙකක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිසවූ අංග පසින් යුත් භික්‍ෂුව, තථාගතයන් වහන්සේ වැනි හික්මවන්නෙකු ලබන්නේ, යම් අත්‍ර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම ශාසනයෙහි යහපත්ව පැවිදි වෙද්ද, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේදීම තෙමේ උසස් නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එක් රෑ දාවලකින් ඊට පැමිණ වාසය කරන්නේය.

59.´´ රාජකුමාරය, එක් රෑ දාවලක් තිබේවා, මේ වීය්‍ර්‍ය පිණිස පවත්නාවූ අඞ්ග පසින් යුක්ත මහණතෙමේ, තථාගතයන් වැනිවූ හික්ම වන්නෙක් ලබන්නේ, සවස අනුශාසනා කරණ ලද්දේ උදෑසන මාර්‍ගඵල අවබෝධ කරයි. උදෑසන අනුශාසනා කරණ ලද්දේ සවස මාර්‍ගඵල අවබෝධ කරන්නේය´´ යි (වදාළසේක.)

60.´´මෙසේ වදාළ කල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. ´´බුÈරජානන් වහන්සේගේ ආශ්චය්‍ර්‍ය ධර්‍මය ආශ්චය්‍ර්‍යයි. යම් ධර්‍මයකින් සවස අනුශාසනා කරණ ලද්දේ උදය මාර්‍ගඵල අවබෝධ කෙරේද, උදය අනුශාසනා කරණ ලද්දේ සවස මාර්‍ගඵල අවවබෝධ කෙරේද, ඒ ධර්‍මයාගේ යහපත්කොට දේශනා කරණ ලද බව ආශ්චය්‍ර්‍යයි. මෙසේ කී කල්හි තරුණ සඤ්ජීකා පුත්‍රතෙමේ බොධිරාජ කුමාරයාට මෙසේ කීය. ´´ඒ කාරණය ඒසේමය. පින්වත් බොධිරාජ කුමාරතෙම, සර්‍වඥයන් වහන්සේ ආශ්චය්‍ර්‍යයිද, ධර්‍මය ආශ්චය්‍ර්‍යයිද, ධර්‍මයාගේ මනාකොට දෙසනලද බව ආශ්චය්‍ර්‍යයිද, කියන්නෙහිය. එසේනම් ඒ භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංයාද සරණ කොට යව´´ යි (කීහ.)

61.´´යහළු සඤ්ජීකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජීකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජීකා පුත්‍රය, එසේ නොකියව. යහළු සඤ්ජීකා පුත්‍රය, මෑනියන් හමුවෙන් මෙය අසනලදී. මෑනියන් හමුවෙන් මෙය අසා පිළිගන්නා ලදී. යහළු සඤ්ජීකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවරෙහිවූ ාෙසිතාරාමයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ මව් තොමෝ දරුගැබ් ඇත්තී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්නාය. එක් පසෙක උන් මාගේ මවු භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය.

´´ස්වාමීන් වහන්ස, මාගේ කුසෙහිවූ යම් මේ කුමාරයෙක් හෝ කුමාරිකාවක් හෝ වේද? හෙතෙම භාග්‍යවතුන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංයාද සරණ යයි.´´ කියායි.

´´භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවි හිම් කොට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය උපාසකයෙකු සේ දරණ සේක්වා.´´ යනුයි.

´ යහළු සඤ්ජීකා පුත්‍රය, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මේ භග්ග ජනපදයෙහිම සුංසුමාරගිරි නගරය සමීපයෙහිවූ මිගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි මාගේ කිරි මව් තොමෝ මා ඇකයෙන් උසුලාගෙණ (වඩාගෙන) භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාය.

එක් පසෙක සිටියාවූ මාගේ කිරිමව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ´´ස්වාමීන් වහන්ස, මේ බෝධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණයයි. ධර්‍මයද භික්‍ෂු සංයාද සරණයයි.

භාග්‍යවතුන් වහන්සේ ඔහු අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වා´ (කියාය.)

´ යහළු සඤ්ජීකා පුත්‍රය, ඒ මම තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යෙමි. ධර්‍මයද භික්‍ෂු සංයාද සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිම් කොට මා සරණ ගිය උපාසකයෙක් කොට දරණ සේක්වායි කීය.´´

බොධිරාජ කුමාර සූත්‍රය නිමි. ( 4 – 35 )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: