103. කින්ති සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර ´´බලිහරණ´´ නම් වන ලැහැබෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි,´ කියා භික්‍ෂූන්ට කථා කළ සේක. ´පින්වතුන් වහන්සැ´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

´´මහණෙනි, තොපට මා කෙරෙහි කිම, මෙබඳු සිතක් වේද? ´ශ්‍රමණ ගෞතම තෙම සිවුරු කරුණු කොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය කරුණු කොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරේද? ශ්‍රමණ ගෞතම තෙම සෙනසුන් කරුණු කොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙමේ ඒ ඒ භව සැප ලැබීම කරුණු කොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරේද?´ කියායි.

´´ස්වාමීනි, ´භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු හේතුකොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිණඩපාතය හේතුකොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සේනාසන හේතුකොටගෙන හෝ ධර්‍මය දේශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ ඒ භවයෙහි සැප විඳීම හේතුකොටගෙන හෝ ධර්‍මය දේශනා කරයි. යනමෙබඳු සිතක් අපට ඇති නොවෙයි.´´

2. ´´මහණෙනි, තොපට වනාහි ´මා කෙරෙහි සිවුරු හේතුකොටගෙන හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්‍මය දේශනා කරයි. පිණඩපාතය හේතුකොටගෙන හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්‍මය දේශනා කරයි. සේනාසන හේතුකොටගෙන හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්‍මය දේශනා කරයි. ඒ ඒ භව සැප විඳීම හේතුකොටගෙන හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්‍මය දේශනා කෙරේය´ යන මෙබඳු සිතක් තොපට ඇති නොවේ නම් මහණෙනි, මා කෙරෙහි තොපට කෙබඳු සිතක් වේද?´´.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට ´ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේ වේ. අනුකම්පා පිණිස ධර්‍මය දේශනා කෙරේය ´ යන මෙබඳු සිතක් වන්නේය.´´ ´´මහණෙනි, තොපට මා කෙරෙහි භාග්‍යවත් තෙම අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේය. අනුකම්පාව නිසා ධර්‍මය දේශනා කෙරේය යන අදහස ඇත්තේය.

3. ´´මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මා විසින් තොපට යම් ධර්‍මයක් දේශනා කරන ලද්දාහුද, එනම්, සතර සතිපට්ඨානයෝය. සතර සම්‍යක් ප්‍රධානයෝය. සතර ඎද්ධි පාදයෝය, පඤෙචන්‍ද්‍රියයෝය, පඤච බලයෝය, සප්ත බෞද්ධ්‍යඞ්ග යෝය, ආය්‍ර්‍ය අෂ්ටාඞ්ගක මාර්‍ගයෝය යන මොහුයි. එහි සියල්ලන් විසින්ම සමගිව, සතුටුව, විවාද නොකරමින් හික්මිය යුතුයි.

4. ´´මහණෙනි, සමගිව සතුටුව විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් අභිධර්‍මයෙහි වෙනස් වාද ඇති භික්‍ෂූහු දෙදෙනෙක් වන්නාහුද, එහි ඉදින් තොපට ´මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්යයි, මෙසේ අදහස් වන්නේ නම් එහි යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද? ඔහු වෙත පැමිණ ´ආයුෂ්මත්වරුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අත්‍ර්‍ථ වශයෙන්ද, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්‍ෂයෙහිවූ භික්‍ෂූන්ගෙන් යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු වෙත පැමිණ, ´ආයුෂ්මතුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත්හු ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අත්‍ර්‍ථ වශයෙනුත් වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙනුත් වෙනස්ද, එසේ දැනගනිව්. ආයුෂ්මත්හු විවාද නොකෙරෙත්වා´ යි කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්වා ලද්ද වරදවා ගන්වා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්වා ලද්ද, වරදවා ගන්වා ලද්දක් වශයෙන් දරා යමක් ධර්‍මය වේද, යමක් විනය වේද, එය කිය යුත්තේය.´´

5.´´ඉදින් එහි තොපට ´මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන් වෙනස්වේ. ව්‍යඤ්ජන වශයෙන් සමවේය´ යි සිතෙන්නේද, එහි යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ´ආයුෂ්මත්වරුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමාන වෙයි. ඒ කීම යම්සේ අත්‍ර්‍ථ වශයෙන් ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්‍ෂයෙහිවූ භික්‍ෂූන්ගෙන් යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු පැමිණ, ´ආයුෂ්මත්වරුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමාන වේ. ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අත්‍ර්‍ථ වශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. නිවරදකොට ගන්නා ලද්ද නිවරදකොට ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද, වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා නිවරදකොට ගන්නා ලද්ද නිවරදකොට ගන්නා ලද්දක් වශයෙන් දරා යමක් ධර්‍මය වේද, යමක් විනය වේද, එය කිය යුතුයි.´´

6.´´ඉදින් එහි තොපට මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ම සමවෙයි. ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේයයි සිතයි නම් එහි යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ, ´ආයුෂ්මත්වරුන්ගේ කීම වනාහි අත්‍ර්‍ථ වශයෙන් සමානවේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේ. එය යම්සේ අත්‍ර්‍ථ වශයෙන්ම සමවේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. යම් මේ ව්‍යඤ්ජනයක් වේද, එය වනාහි සුථ කරුණකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. අනික් පක්‍ෂයෙහිවූ භික්‍ෂූන්ගෙන් යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ, ´ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අත්‍ර්‍ථ වශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. ආයුෂ්මත්හු එය යම්සේ අත්‍ර්‍ථ වශයෙන් සමානවේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේද, එය ඒ ආකාරයෙන් ආයුෂ්මත්හු දැනගනිව්. යම් ඒ ව්‍යඤ්ජනයක් වේද, එය ස්වල්ප කාරණයකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. මෙසේ නිවරදකොට ගන්නා ලද්ද නිවරදකොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරදකොට ලන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, යමක් ධර්‍මය වේද, යමක් විනය වේද, එය කිය යුතුයි.

7. ´´එහි ඉදින් තොපට මේ ආයුෂ්මතුන්ලාගේ කීම අත්‍ර්‍ථ වශයෙන්ද සමානවේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේයයි සිතක් වන්නේ නම් එහි යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ, ´ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අත්‍ර්‍ථ වශයෙන්ද සමානවේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේ. එය යම්සේ අත්‍ර්‍ථයෙනුත් සමානවේද, ව්‍යඤ්ජනයෙනුත් සමානවේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්‍ෂයෙක්හිවූ භික්‍ෂූන්ගෙන් යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ, ´ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අත්‍ර්‍ථ වශයෙන්ද සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේ. එය යම්සේ අත්‍ර්‍ථයෙනුත් සමානවේද, ව්‍යඤ්ජනයෙනුත් සමානවේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වා´ යි කියයුතු වන්නේය. මෙසේ නිවරදකොට ගන්නා ලද්ද නිවරදකොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරදකොට ගන්නා ලද්ද නිවරදකොට ගන්නා ලද්ද වශයෙන් දරා යමක් ධර්‍මය වේද, යමක් විනය වේද, එය කිය යුතුයි.

8. ´´මහණෙනි, සමගිව, සතුටු වෙමින්, විවාද නොකරමින්, හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් එක්තරා භික්‍ෂුවක්හට ඇවැතක් වන්නේද, වරද කිරීමක් වන්නේද, මහණෙනි, එහි චෝදනාව පිණිස නොයා යුතුයි. අනික් පුද්ගලතෙම වනාහි ක්‍රොධ නොකරන්නෙක්, වෛර නොකරන්නෙක් තම මතය අත් නොහරින සේ තදින් නොගන්නෙකි. තම මතය පහසුවෙන් දුරලිය හැක්කෙක් වේනම්, ´මටද වෙහෙස නොවන්නේය. අනිකාටද දුකට පැමිණීමක් නොවන්නේය. මට ඒ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේය´ යි පුද්ගලයා පරීක්‍ෂා කළ යුතුය. ඉදින් මහණෙනි, කීමට සුදුසු වන්නේය. මහණෙනි, ඉදින් වනාහි මෙසේ වන්නේනම් ´මටද වෙහෙසක් නොවන්නේය. අන්‍ය පුද්ගලයාටද දුකක් වන්නේය. අනික් පුද්ගලයා වනාහි කිපෙන්නෙක. වෛර කරන්නෙක. මතය දැඩිකොට ගන්නෙකි. මතය පහසුවෙන් දුරලිය නොහැක්කේ වෙයි. මම මේ පුද්ගලයා අකුසලයෙන් නගා සිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද වෙමි´ යි මෙසේ වන්නේ නම් යම් මේ අනික් පුද්ගලයාගේ දුකට පැමිණීමක් වේද, මෙය වනාහි සුලු දෙයකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කසලයෙහි පිහිටුවන්ට හැකිවෙයි නම් එයම මහත් වන්නේය. මහණෙනි, ඉදින් මෙසේ වන්නේනම් කීමට සුදුසු වේ.

9. ´´මහණෙනි, ඉදින් වනාහි ´මට වනාහි වෙහෙස වන්නේය. අනික් පුද්ගලයාට දුකක් නොවන්නේය. අනික් පුද්ගල තෙම වනාහි ක්‍රොධ නොකරන්නෙක්, වෛර නොකරන්නෙක්, මතය තරයේ ගන්නෙක්, මතය පහසුවෙන් අත් නොහරින්නෙක් වන්නෙම් මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද, වෙමි. මාහට යම් වෙහෙසක් වේද, එය වනාහි සුලු වූවකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය. ´මහණෙනි, ඉදින් එසේ වන්නේ නම් කීමට සුදුසුයි.

10 ´´මහණෙනි, ඉදින් වනාහි මටද වෙහෙස වන්නේය. අනික් පුද්ගලයාටද දුක් වන්නේය. අනික් පුද්ගල තෙමේ වනාහි කිපෙන්නෙක්, බද්ධ වෛර කරන්නෙක්, මතය තරයේ ගන්නෙක්, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක් වන්නේද ´මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද, වෙම් නම් මට යම් වෙහෙසීමක් වේද, අන්‍ය පුද්ගලයාට යම් දුකක් වේද, මෙය වනාහි සුලු වූවකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය. ´මහණෙනි, ඉදින් එසේ වන්නේ නම් කීමට සුදුසුය.

11 ´´මහණෙනි, ඉදින් වනාහි මටද වෙහෙස වන්නේය. අන් පුද්ගලයාටද දුක් වන්නේය. අනික් පුද්ගල තෙමේ වනාහි කිපෙන්නෙක, වෛර කරන්නෙක, මතය තරයේ ගන්නෙක, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක මමද මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැකි වෙමියි, මෙසේ වන්නේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා කෙරෙහි උපෙක්‍ෂාව නොයික්මවිය යුතුය.

12.´´මහණෙනි, සමගිව සතුටුවෙමින්, විවාද නොකරමින් හික්මෙන්නාවූ, ඒ තොප අතරෙහිද සිත් දූෂ්‍ය කරන්නාවූ අමනාපය ඇති කරන්නාවු, නොසතුට ඇල්ම ඇතිකරන්නාවූ ඕපාදූප වචන උපදින්නේය. ඒ එක් පක්‍ෂයක භික්‍ෂූන් අතුරෙන් යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ, ´ඇවැත්නි, සමගිව සතුටුවෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ, අප අතරෙහි සිත් දූෂ්‍යකරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, ඔවුනොවුන්ගේ ඔපාදූප වචන උපන්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේදැයි කිය යුතුය.

13. ´´මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්‍ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ඇවැත්නි, සමගිව සතුටුවෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූද, අමනාප ඇතිකරන්නාවූද, නොසතුට ඇතිකරන්නාවූද, ඔවුනොවුන්ගේ ඔපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගරහන්නේය. ´ඇවැත්නි මේ කෝලාහල කිරීම දුරුකොට නිවණ ප්‍රත්‍යක්‍ෂ කරන්නේදැ´ යි ඇසිය යුතුය. මහණෙනි, මනානොට ප්‍රකාශ කරන්නාවූ භික්‍ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරුකොට නිවණ ප්‍රත්‍යක්‍ෂ නොකරන්නේය.´ තවද, අනික් පක්‍ෂයෙහිවූ භික්‍ෂූන්ගෙන් යම් භික්‍ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ´ඇවැත්නි, සමගිව, සතුටුවෙමින්, විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූ, අමනාපය ඇති කරන්නාවූ, නොසතුට
ඇතිකරන්නාවූ, ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේදැ´ යි කියයුතු වන්නේය. මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්‍ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ඇවැත්නි සමගිව සතුටුවෙමින්, විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූ, අමනාපය ඇති කරන්නාවූ, නොසතුට ඇති කරන්නාවූ, යම් ඒ ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේය කියායි. ඇවැත්නි, මේ කෝලාහල කිරීම වනාහි දුරුකොට නිවණ ප්‍රත්‍යක්‍ෂ නොකරන්නේදැ´ යි ඇසිය යුතුය. මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්‍ෂුතෙම මෙසේ ´ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්‍ෂ නොකරන්නේය´ යි කියන්නේය.

14. ´´මහණෙනි, ඉදින් ඒ භික්‍ෂුවගෙන් අනික් භික්‍ෂුවක් ආයුෂ්මතුන් විසින් අපගේ මේ භික්‍ෂූහු අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන ලද්දාහුදැයි අසන්නේ නම්, මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්‍ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ´ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ ධර්‍මය දේශනා කළ සේක.´ මම ඒ ධර්‍මය අසා ඒ භික්‍ෂූන්ට කීවෙමි. ඒ භික්‍ෂූහු ඒ ධර්‍මය අසා අකුසලයෙන් නැගී සිටියාහුය, කුසලයෙහි පිහිටියාහුය යනුවෙනි

´´මහණෙනි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ භික්‍ෂුතෙම තමාද නොම උසස් කෙරෙයි. අනුන් නොම පහත් කෙරෙයි. ධර්‍මයට අනුකූලවූවක් ප්‍රකාශ කරයි. කරුණු සහිතවූ අනික් කිසි වාදයක් හෝ අනුවාදයක් හෝ (මේ පුද්ගලයාට) ගැරහියයුතු තැනට නොපැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

තුන්වැනිවූ කින්ති සූත්‍රය නිමි. ( 1 – 3 )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: