71. තෙවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළහ. එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පා සිව්රු රැගෙණ විසාලා මහනුවර පිඬු පිණිස පැමිණියෝය.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට ´විසාලා මහනුවර පිඬු සිඟීමට තවම කල් වැඩිය. මම එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම යම් තැනකද, එතැනට පැමිණෙන්නෙම් නම් යහපතැයි අදහස් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එකපුණඩරීක නම්වූ පරිව්‍රාජකාරාමය යම් තැනකද, වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම යම් තැනකද, එතැනට පැමිණියෝය.

3. වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම, වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේට ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙහි වැඩීම යහපති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි වැඩියහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නා සේක්වා. මේ ආසනය පනවන ලදැයි´´ කීයේය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩ උන්හ. වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙමේද, එක්තරා මිටි අස්නක් ගෙණ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූම වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම ´´ස්වාමීනි, ශ්‍රමණ ගෞතම තෙම සර්‍වඥය, සියල්ල දක්නේය, සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රකාශ කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටියේය´ යන මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ´ශ්‍රමණ ගෞතම තෙම සර්‍වඥය, සියල්ල දක්නේය, සියල්ල දක්නා ඥානයක් ඇතැයි ප්‍රතිඥා කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටින්නේය.´ යි මෙසේ කියත්ද, ස්වාමීනි, කිමෙක්ද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේට කියන ලද්දක් නියන්නාහුද, භාග්‍යවතුන් වහන්සේට නැති දෙයකින් දෝෂාරෝපන නොකරද්ද, ධර්‍මයට අනුකූලවූවක් ප්‍රකාශ කෙරෙත්ද, කිසියම් මේ කීම කරුණු සහිතව නුවණැත්තන් විසින් ගරහිය යුතු තැනට නොපැමිණේද?´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

4. ´´වච්ඡය, ´ශ්‍රමණ ගෞතම තෙම සර්‍වඥය, සියල්ල දක්නේය, සියල්ල දක්නා නුවණක් ඇතැයි ප්‍රකාශ කරයි. යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නොනිදන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණ එළඹ සිටියේයයි.´ යම් කෙනෙක් මට කීවාහු නම් ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔවුහු මට අසත්‍යයෙන් චෝදනා කරත්.´´

6. ´´ස්වාමීනි, කෙසේ ප්‍රකාශ කරන්නාවූ අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට කියන ලද්දක් කියන්නෝ වන්නෙමුද, භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියන්නෙමුද, ධර්‍මයට අනුකූලවූවක් ප්‍රකාශ කරන්නෙමුද, කරුණු සහිතවූ නුවණැත්තන් විසින් ගැරහිය යුතු බවට නොපැමිණෙන කිසියම් කීමක් වන්නේද?

6. ´´වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තය´ යි ප්‍රකාශ කරණු ලබන්නේ, මට කියන ලද්ද කියන්නේද වන්නේය. මට බොරුවෙන් දොස්ද නොකියන්නේය. ධර්‍මයට අනුකූල වූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැත්තන්ගේ ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය. වච්ඡය, මම වනාහි යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) අනෙකප්‍රකාරවූ පෙර විසූ භව සිහිකරමි. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතලිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ´අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගෝත්‍ර ඇත්තෙමි, මේ පාට ඇත්තෙමි, මේ කෑම ඇත්තෙමි, මේ සැප දුක් වින්දෙමි. මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙමි. අසුවල් තැන උපන්නෙමි. එහිදු මෙනම් ඇත්තෙමි. මේ ගෝත්‍ර ඇත්තෙමි, මේ පාට ඇත්තෙමි, මේ කෑම ඇත්තෙමි, මේ සැප දුක් වින්දෙමි. මේ ආයුෂ කෙලවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. මෙහි උපන්නෙමි.´ යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ පෙර විසුම් සිහිකරමි. වච්ඡය, මම වනාහි යම්තාක්ම කැමැති වෙම්ද, (ඒතාක්) පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, සුගතිවල උපන්නාවූද, දුර්ගතිවල උපත්තාවූද, සත්‍වයන් දකිමි. ´මේ පින්වත් සත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූහ. වාග් දුශ්චරිතයෙන් යුක්තවූහ. මනො දුශ්චරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට ගරහන්නෝ වූහ. මිත්‍යාදෘෂ්ටිකයෝ වූහ. මිත්‍යාදෘෂ්ටිකර්ම සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ, දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්තවූහ. වාග් සුචරිතයෙන් යුක්තවූහ. මනො සුචරිතයෙන් යුක්තවූහ. ආය්‍ර්‍යයන්ට නොගරහන්නෝ වූහ. සත්‍යය අදහන්නෝ වූහ. සත්‍ය ඇදහීම් සමාදන්වූවෝ වූහ. ඔවුහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණීයෝ´ යි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්‍වයන් දකිමි. මෙසේ පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්ම සිටියාවූ දිවැසින් චුතවන්නාවූද උපදින්නාවූද පහත්වූද උසස්වූද ලක්‍ෂණවූද අවලක්‍ෂණවූද හොඳ ලොවට ගියාවූද, නරක ලොවට ගියාවූද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්‍වයන් දැනගනිමි.

7. ´´වච්ඡය, මම වනාහි ආශ්‍රවයන් (කෙළෙස්) ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ සමාධිය කරණකොට මිදීමත්, ප්‍රඥාව කරණකොට මිදීමත්, මේ ආත්මයෙහිම තමන්ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යත්‍ෂකොට පැමිණ වාසය කරමි. වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි, ප්‍රකාශ කරණු ලබන්නේ මට කියන ලද්ද කියන්නේද වන්නේය. මට අසත්‍යායන් නින්දාද නොකරන්නේය. ධර්‍මයට අනුකූල වූවක් ප්‍රකාශ කරන්නේය. ඒ කීම කරුණු සහිතව නුවණැතියන් විසින් ගැරහිය යුතු කැනටද නොපැමිණෙන්නේයයි´´ වදාළේය.

8. මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම, ´භවත් ගෞතමයන් වහන්ස, ගිහි බන්‍ධනය (ගිහියන් විසින් පරිහරණය කරණ දෙයෙහි ආශාව) දුරුනොකොට කිසියම් ගිහියෙක් ශරීරයාගේ බිඳීමෙන් පසු, දුක් කෙළවර කෙරේදැ?´´ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

´´වච්ඡය, කිසියම් ගිහියෙක් ගිහි සංයෝජනය දුරු නොකොට ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නෙක් නැත්තේය´´ යි වදාළේය.

9. ´´භවත් ගෞතමයන් වහන්ස, කිසියම් ගිහියෙක් ගිහි සංයෝජනය දුරු නොකොට ශරීරයාගේ බිඳීමෙන් පසු දෙව්ලොවට පැමිණෙන්නෙක් ඇත්තේදැ´´ යි ඇසීය.

´´වච්ඡය, ගිහි සංයෝජන දුරු නොකොට මරණින් පසු ස්වර්‍ගයට ගියාහු සියයක්ද නොවෙයි., දෙසියයක්ද නොවෙයි, තුන්සියයක්ද නොවෙයි. සාරසියයක්ද නොවෙයි, පන් සියයක්ද නොවෙයි, හුදෙක් ඉතා බොහෝය´´ යි වදාළේය.

10. ´´භවත් ගෞතමයන් වහන්ස, ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නාවූ කිසියම් ආජීවකයෙක් ඇත්තේද´´ ´´වච්ඡය, ශරීරයාගේ බිඳීමෙන් පසු දුක් කෙළවර කරන්නාවූ කිසියම් ආජීවකයෙක් නැත්තේය´´

11. ´´භවත් ගෞතමයන් වහන්ස, කිසියම් ආජීවකයෙක් ශරීරයාගේ බිඳීමෙන් දෙව්ලොව ගියේද, එබන්දෙක් ඇත්තේද?´´

´´වච්ඡය, මම යම් කල්පයක් සිහි කරම්ද, ඒ මෙයින් එකානූවන කල්පයයි. එකෙකු යැර දෙව්ලොව ගියාවූ කිසියම් ආජීවකයෙකු නොදනිමි. හෙතෙමේද කර්‍මවාද ඇත්තාවූ ක්‍රියාවාද ඇත්තාවූ (ආජීවකයෙක්) වූයේය´´ යි වදාළේය.

12. ´´භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇතිකල්හි මේ තීත්ර්‍‍ථායතනය යටත් පිරිසෙයින් ස්වර්‍ගයට යන්නෙකුගෙනුත් සූන්‍යයයි´´.

වච්ඡය, මෙසේ ඇතිකල්හි මේ තීත්ර්‍‍ථායතනය, යටත් පිරිසෙයින් දෙව්ලොව යන්නෙකුගෙන් පවා හිස්ය´´ යි වදාළේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ වච්ඡගොත්ත නම් පරිව්‍රාජික තෙම, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

පළමුවෙනිවූ තෙවිජ්ජ වච්ඡගොත්ත සූත්‍රය නිමි. ( 3 – 1 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: