66. ලටුකිකොපම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අංගුත්තරාප නම් ජනපදයෙහි අංගුත්තරාප වැසියන්ගේ මහගමක්වූ ආපණ නම් ගමෙහි වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙණ ආපණ නම් ගමට වැඩියහ. ආපණ නම් ගමෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළනුණේ එක්තරා වනලැහැබක් යම් තැනකද දවල් කාලයෙහි විසීම සඳහා එහි වැඩියහ. ඒ වනලැහැබට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය. ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේද සිවුරු හැඳ සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙණ පෙරවරු කාලයෙහි ආපණයෙහි පිඬු පිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකී ඒ වනලැහැබ යම් තැනකද එහි දවල් වාසය පිණිස ගියේය. ඒ වනලැහැබට පැමිණ, එක් රුකක් මුල දවල් වාසය පිණිස හුන්නේය.

2. ඉක්බිති විවේකීව තනිව සිටියාවූ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට මෙබඳු අදහසක් ඇතිවිය. ´භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස්කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසල ධර්‍මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසල ධර්‍මයන් රැස්කරන්නෙක´ ( යන අදහසයි. ) ඉක්බිති ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. එහි පැමිණ. භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.

3. ´´ස්වාමීණි, මෙහි විවේකව තනිව වාසය කළ මට මෙබඳු අදහසක් ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ඒකාන්තයෙන් අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ සැප රැස් කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ අකුසල ධර්‍මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපගේ බොහෝ කුසල ධර්‍මයන් රැස්කරන්නෙක ( කියායි.) ස්වාමීණි, අපි පෙර හවසද, උදයද, දවල්ද නොකල්හිද අනුභව කෙළෙමු. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේ, යම් හෙයකින් භික්‍ෂූන් කැඳවා ´මහණෙනි, එසේ නම් තොපි මේ දවල් නොකල්හි භෝජනය අත්හරිව්. ( යන නියමය කළ ) කාලයක් වීද, ස්වාමීනි, ඒ අවස්ථාවෙහි මගේ හිත වෙනස්විය. දොම්නසක්ද ඇතිවිය. කෙසේද, අපට සැදැහැවත් ගෘහපතියෝ දවල් නොකල්හි යම් ප්‍රණීත කන දෙයක් හෝ අනුභව කරණ දෙයක් හෝ දෙත්ද, එයද අපට භාග්‍යවතුන් වහන්සේ ඉවත් කරන්ට කියත්. සුගතයන් වහන්සේ එය අපට දුරුකරන්ට කියත් ´ යනුවෙනි. ස්වාමීණි. ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ( ඇති ) ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද, සලකමින් මෙසේ ඒ දවල් නොකල්හි භෝජනය දුරුකෙළෙමු. ස්වාමීණි, ඒ අපි සවසද, උදේද, අනුභව කෙළෙමු. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේ යම් හේතුවකින් භික්‍ෂූන් කැඳවා, ´ මහණෙනි, එසේ නම් තොපි රාත්‍රි නොකල්හි භෝජනයද අත්හරිව් ´ ( යන නියමය කළ ) කාලයක් වීද,

සවාමීණි, ඒ අවස්ථාවෙහිද මගේ හිත වෙනස් විය. දොම්නස්ද ඇතිවිය. කෙසේද, ´ අපට උදේ රාත්‍රි ආහාර වේල් දෙකින් ආහාර වේලක් ඉතා ප්‍රණීත වීද, එයද භාග්‍යවතුන් වහන්සේ අපට ඉවත් කරන්ට කියත්. සුගතයන් වහන්සේ එයද දුරුකරන්ට කියත් ´ ( යනුවෙනි ). ස්වාමීණි, පෙර එක් පුරුෂයෙකුට දවල් මස් මාලු ආදියක් ලැබී මෙසේ කීය. ´එසේ නම් මෙය තබව්. සවස සියලුදෙන එකතුව අනුභව කරමු´ කියායි. ස්වාමිණි, යම්කිසි මනාව පිළියෙල කළ කෑම ජාතිවෙත්නම් ඒ සියල්ල රාත්‍රියෙහිම අනුභව කරත්, දවල් අනුභව කරන්නේ ස්වල්පයකි. ස්වාමීණි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද සලකමින් මෙසේ ඒ රාත්‍රි නොකල්හි භෝජනය අත්හැරියෙමු.

4. ´´ස්වාමීණි, පෙර භික්‍ෂූහු රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසිරෙන්නාහු ගම් දොර ගවර වලෙහිද වැටෙත්, ඉඳුල් දිය දමන වලෙහිද වැටෙත්. කටුවැටටද නගිත්. ලැගහුන් දෙන පිටද නගිත්. සොරකම් කළ හෝ නොකළ හොරු හා එකතු වෙත්. ස්ත්‍රීහුද අසද් ධර්‍මය සඳහා කැඳවත්. ස්වාමීණි, මම පෙර රෑ අඳුරු කලුවරෙහි පිඬු පිණිස හැසුරුනෙමි. ( එකල ) බඳුනක් සෝදන එක් ස්ත්‍රියක් විදුලි එලියෙන් මා දැක්කාය. මා දැක බියවී, ´ මා නැසුණේය, අමනුෂ්‍යයෙක්´. අමනුෂ්‍යයෙක්´. ´ ( කියා ) කෑගැසීය. ඒ සේ කෑගැසූ කල්හි, ස්වාමීණි, මම ඒ ස්ත්‍රියට මෙසේ කීයෙමි. ´නැගණිය, මම අමනුෂ්‍යයෙක් නොවෙමි. පිඬු පිණිස වැඩ සිටි භික්‍ෂුවකි´. ´භික්‍ෂුවගේ පියා මැරුණේද? මව මළාද? භික්‍ෂූන් වහන්ස, රෑ අඳුරෙහි කුස නිසා පිඬු පිණිස හැසිරෙනවාට වඩා තියුණු ගෙරිකපන කැත්තෙන් කුස කපා දැමීම හොඳය´ යි කීය. ස්වාමීණි, එය සිහිවෙන මට මෙබඳු සිතක් වෙයි. ´භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරු කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ සැප රැස් කරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල ධර්‍මයන් දුරුකරන්නෙක. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ කුසල ධර්‍මයන් රැස්කරන්නෙක, (කියායි.)

6. ´´උදායීය, එය එසේමය. මා විසින් මෙය දුරුකරව්යයි කියනු ලබන කල්හි ඇතැම් හිස් පුරුෂයෙක්, ´මේ ශ්‍රමණ තෙමේ මේ සුලු දේ ගැන කුඩා දේ ගැන කියන්නේ කුමටද, සොයන්නේ කුමටදැ´ යි කියත්. ඔවුහු එයද අත් නොහරිත්. උදායීය, ශික්‍ෂාව කැමති ( සිල්වත් ) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහි නොසතුට උපදවත්. ඒ හිස් පුරුෂයන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක් බෙල්ලේ, එල්ලූ මහ ලීයක් මෙන් වෙයි.

6. ´´උදායීය, යම්සේ හුළං කිරිල්ලියක් රසකිඳ වැලකින් බඳනා ලද්දී එහි වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණෙයි. ඇයට එය සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හරනැති බැඳුමෙකැයි යමෙක් කියයි නම් උදායීය, ඔහු හරිවූවක් කියන්නේද?´´ ´´ස්වාමීණි, එසේ නොවේය. ස්වාමීණි, රසකිඳ වැලෙන් බඳින ලද ඒ හුලං කිරිල්ලිය එතැනම වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණෙයි. එය ඇයට බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, ස්ථිර බැඳුමෙක, ශක්තිමත් බැඳුමෙක, බෙල්ලේ එල්ලූ මහ ලීයක් වැනිය.

7. ´´උදායීය, එමෙන්ම ඇතැම් හිස් පුරුෂයෝ මෙය දුරුකරව් යයි මා විසින් කියන ලද කල්හි ඔවුහු ´මේ සුළු කරුණ කුමටද, කුඩා කරුණ කුමටද? මේ ශ්‍රමණ තෙම මේ සුළු කරුනෙහිත්, බොහෝ උත්සාහ කරත්´ යයි කියත්. ඔවුහු එය අත් නොහරිත්, මා කෙරෙහිද ශික්‍ෂාව කැමති (-සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ කරත්. ඔවුන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක්, ශක්තිමත් බැඳුමක්, බෙල්ලේ එල්ලූ මහ ලීයක් මෙන් වෙයි.

8. ´´උදායීය, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෝ ´මෙය දුරුකරව්´ යයි මා විසින් කියනු ලබන කල්හි ඔවුහු, භාග්‍යවතුන් වහන්සේ අපට යමක් දුරු කිරීමට කියත්ද එය ඉතා සුළු දෙයක්, කුඩා දෙයක් නොවේදැ´ යි කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පහළ නොකරත්. ඔවුහු එය දුරුකොට වෙනසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, ( අද හෙට කෙසේද යන ) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.

9. ´´උදායීය, යම්සේ නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්‍ෂ, වංශවත්, යුදයට යන ඇතා දැඩි වර පට ඇත්තාවූ බැඳුමෙන් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ දමා කැමති තැනකින් ගමන් කරයි. උදායීය, නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්‍ෂ, වංශවත්, යුදයට යන ඇතා දැඩි වර පටින් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමති තැනකින් ගමන් කරයිද. ඒ ඇතාට එය බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, තිර බැඳුමෙක, නොවෙනස් බැඳුමෙක, බෙල්ලේ එල්ලූ මහ ලීයක් මෙන් වේයයි යමෙක් කියන්නේ නම්, උදායීය, ඔහු හරි වූවක් කියන්නේද?´´

´´ස්වාමීණි, එසේ නොවේය.´´

´´ස්වාමීණි, නගුලිස් වැනි දත් ඇති, උදුරා දැමීමෙහි දක්‍ෂ, වංශවත්, යුදයට ගිය, ඒ ඇතා දැඩි වර පට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ ශරීරය ටිකක් නමා ඒ බැඳුම් සිඳ බිඳ දමා කැමති තැනකින් ගමන් කරයිද, එය ඔහුට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.´´ ´´උදායිය, එමෙන් මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ මෙය අත් හරිව් යයි මා විසින් කියනු ලබන කල්හි ´භාග්‍යවතුන් වහන්සේ අපට යමක් දුරලීමට කී සේක්ද, මේ කිමෙක්ද, සුළු ඉතා සුළු පහකළ යුතු කරුණකි,´ යි කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පළ නොකරත්. ඔවුහු එය දුරුකොට වෙහෙසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, ( අද හෙට කෙසේද යන ) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.

10. ´´උදායීය, යම්සේ දිළිඳු, තමාගේයයි කියයුතු කිසි දෙයක් නැති දුප්පත් මිනිසෙක් වෙයිද, ඔහුට කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන එක් ගෙපැලක් ඇත්තේය. ඉරීගිය එක් වැල් ඇඳක් ඇත්තේය. කුරහන්, ලබු ඇට, මෑ ඇට දැමූ එක් මුට්ටියක් ඇත්තේය. ඔහුට අවලක්‍ෂණ බිරිඳක් ඇත්තේය. ඒ මිනිසා ආරාමයක අත් පා සෝදා පිරිසුදු කොට හොඳ අහර වළඳා, සිහිල් සෙවනක හිඳ, සිත එකඟ කළ භික්‍ෂුවක් දක්නේය. ( එවිට ) ඔහුට මෙබඳු සිතක් වන්නේය. ´පින්වත, මහණකම සැපය. පින්වත, මහණකම නීරොගය´ ( කියායි. ) ( ඔහුට ) යම්බඳුවූ ´මම කෙස් රැවුල් කපා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් හොඳය´ යි සිතෙන්නේය. එහෙත් ඔහුට කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැර දමා, අවලක්‍ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට නොහැකි වෙයි.

´´උදායීය, යම්බඳු බැඳුමකින් බැඳුනු ඒ මිනිසා කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැර දමා, අවලක්‍ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට නොහැක්කේද, ඔහුගේ ඒ බැඳුම සවි නැති බැඳුමෙක, දුබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙකැයි කියන්නේද, උදායීය, ඔහු හරි වූවක් කියන්නේද?´´ ´´නැත ස්වාමීණි,´´ ´´යම් බැඳුමකින් බැඳුනු ඒ මිනිසා, කැඩී බිඳී එල්බෙන, කපුටන් එහා මෙහා යන ගෙපැල හැර දමා, ඉරීගිය වැල් ඇඳ හැරදමා, කුරහන්, ලබු ඇට, මෑ ඇට මුට්ටිය හැර දමා, අවලක්‍ෂණ බිරිඳ හැරදමා, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට නොහැක්කේද, එහුගේ ඒ බැඳුම සවි ඇති බැඳුමෙක, දැඩි බැඳුමෙක, ස්ථිර බැඳුමෙක, හර බැඳුමෙක, බෙල්ලේ බැඳි මහා ලීයක් වැනිය.

11. ´´උදායීය, එමෙන්ම මේ ශාසනයෙහි, ඇතැම් හිස් පුරුෂයෝ, මෙය අත්හරීවායි මා විසින් කියනු ලබන කල්හි ´මේ සුළු කරුණ කුමටද? මේ කුඩා කරුණ කුමටද? මේ ශ්‍රමණ තෙම කුඩා දෙයෙහි බොහෝ උත්සාහ කරති´ යි කියත්. ඔවුහු එය නොහරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (-සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද, ඔවුන් කෙරෙහිද නොසතුට පහළ කරත්. ඔවුන්ට එය බලවත් බැඳුමක්, දැඩි බැඳුමක්, ස්ථිර බැඳුමක්, ශක්තිමත් බැඳුමක්, බෙල්ලේ බැඳි මහ ලීයක් මෙන් වෙයි.

12. ´´උදායීය, යම් සේ නොයෙක් රන් මිළ රැස් කළාවූද, නොයෙක් වී ධාන්‍ය රැස් කළාවූද, නොයෙක් කුඹුරු රැස් කළාවූද, නොයෙක් වතුපිටි රැස් කළාවූද, නොයෙක් භාය්‍ර්‍යා සමූහ ඇත්තාවූද, නොයෙක් දාස සමූහයා ඇත්තාවූද, නෙියෙක් දාසි සමූහයා ඇත්තාවූද, පොහොසත් ධනවත් සැපවත් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ වෙත්ද, ඔවුහු අත් පා සෝදා පිරිසුදු කළ, හොඳ අහර වැළඳූ, සිහිල් සෙවනක හිඳ සිත එතඟ කළ, භික්‍ෂුවක් දක්නේය. ( එවිට ) ඔහුට මෙබඳු සිතක් වන්නේය. ´´පින්වත, මහණකම සැපය, පින්වත, මහණකම නීරෝගය (කියායි.) ඔහු යම් බඳුවූම, මමකෙස් රැවුල් බහා කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් හොඳයයි සිතන්නේය. ඔවුන්ට නොයෙක් රන්කාසි හැර, නොයෙත් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් භාය්‍ර්‍යාවන් හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් කපා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්ට හැකි වන්නේය. උදායීය, ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ යම් බැඳුමකින් බැඳුනේ නොයෙක් රන් කාසි හැර, නොයෙත් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් භාය්‍ර්‍යා සමූහයන් හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ශාසනයෙහි පැවිදි වන්ට හැක්කේ්ය. එය ඔහුට බලවත් බැඳුමෙක, දැඩි බැඳුමෙක, තිර බැඳුමෙක, ශක්තිමත් බැඳුමෙක, බෙල්ලේ බැඳි මහ ලීයක් වැනි´ යි කියන්නේද? උදායීය, ඔහු හරිවූවක් කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේය.´´

´´ස්වාමීනි, යම් බැඳුම් වලින් බැඳුනු ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා හෝ නොයෙක් රන් කාසි හැර, නොයෙත් ධාන්‍ය රාසි හැර, නොයෙක් කුඹුරු හැර, නොයෙක් වතුපිටි හැර, නොයෙක් භාය්‍ර්‍යා සමූහයන් හැර, නොයෙක් දාස සමූහයන් හැර, නොයෙක් දාසි සමූහයන් හැර, කෙස් රැවුල් බහා, කසාවත් හැඳ පොරවා, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්ට හැකිවෙයි. එය ඔහුට සවි නැති බැඳුමෙක, අස්ථිර බැඳුමෙක, හර නැති බැඳුමෙක.

13. ´´උදායීය, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෝ මෙය අත් හරිව්යයි මා විසින් කියනු ලබන කල්හි ´භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පහ කිරීමට කියත්ද, සුගතයන් වහන්සේ අපට යමක් දුරලීමට කියත්ද මේ කිමෙක්ද? සුළු ඉතා සුළු පහ කළ යුතු කරුණකි´ යි කියත්. ඔවුහු එය අත්හරිත්. මා කෙරෙහිද, ශික්‍ෂාව කැමති (සිල්වත්) යම් භික්‍ෂූහු වෙත්ද ඔවුන් කෙරෙහිද නොසතුට පහළ නොකරත්. ඔවුහු එය දුරුකොට වෙහෙසක් නැතිව, ලොමු දැහැගැනුම් නැතිව, අනුන් දෙන දෙයින් යැපෙන්නෝව, (අද හෙට කෙසේද යන ) බලාපොරොත්තු නැති සිතින් යුක්තව වාසය කරත්. උදායීය, එය ඔවුන්ට සවි නැති බැඳුමෙක, අබල බැඳුමෙක, අස්ථිර බැඳුමෙක.

14. ´´උදායීය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. ඒ සතර දෙන කවරහුද? උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරුකිරීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපන්නාවූ ඒ පුද්ගලයා උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. ඔහු ඒ උපධීන් ඉවසයි. දුරු නොකරයි. නොසංසිඳුවයි. අවසන් නොකරයි. නැති බවට නොපමුනුවයි. උදායීය, මම මේ පුද්ගලයා කෙලෙස් සහිතයයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.

16. ´´උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපදින්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපදින ඔහු උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. ඔහු ඒ උපධීන් නොඉවසයි. දුරු කෙරයි. සංසිඳුවයි. අවසන් කරයි. උදායීය, මම මේ පුද්ගලයාද කෙලෙස් සහිතයෙකැයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.

16. ´´උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස, උපධි පහ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. උපධි දුරලීම පිණිස, උපධි පහකිරීම පිණිස, පිළිපන් ඔහු ඇතැම් විටෙක සිහි මුළාව හේතුකොට ගෙන උපධි හා යෙදුනු කල්පනාවෝ යට කරත්. උදායීය (ඔහුට) සිහිය පහළවීම ප්‍රමාදය. සිහිය පහළවනවාත් සමගම එය වහාම දුරුකරයි. සංසිඳුවයි. අවසන් කරයි. නැති බවට පමුණුවයි. උදායීය, යම් සේ දවසක් මුලුල්ලෙහිම රත් කරණ ලද යකඩ තැටියක දිය බිංදු දෙකක් තුනක් වැටේද, උදායීය, දියබිඳු වැටීම ප්‍රමාදවෙයිද, වැටෙනවා සමගම ඒ දියබිඳු වහා ක්‍ෂයවීමට, අවසානයට යන්නේද, උදායීය, එමෙන් මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපධි දුරලීම පිණිස උපධි නැතිකිරීම පිණිස පිළිපදින්නේ වේද, උපධි දුරලීම පිණිස උපධි අතහැර දැමීම පිණිස පිළිපදින ඔහු කිසිවිටෙක සිහි මුළාව නිසා උපධි හා කල්පනාවෝ යට කරත්ද, උදායීය, සිහිය පහළවීම ප්‍රමාද වෙයි. සිහිය පහළ වනු සමගම වහාම එය දුරු කරයි. සංසිඳුවයි. අවසන් කරයි. නැතිබවට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගලයාද කෙලෙස් සහිතයයි කියමි. කෙලෙස් රහිතයයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මේ පුද්ගලයා කෙරෙහි මා විසින් ඉඳුරන්ගේ වෙනස් බව දන්නා ලදී.

17. ´´උදායීය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් පඤ්ච ස්කන්‍ධ උපධිය දුකට මුලයයි දැන ක්ලේශ උපධිය නැත්තෙක් වේද, නිවන අරමුණු කිරීමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනේද, උදායීය, මම මේ පුද්ගලයා කෙලෙස් රහිතයෙකැයි කියමි. කෙලෙස් සහිතයෙකැයි නොකියමි. එයට හේතු කවරේද? උදායීය, මේ පුද්ගලයා කෙරෙහි ඉඳුරන්ගේ වෙනස් බව මා විසින් දන්නා ලදී.

18. ´´උදායීය, මේ කාමගුණ පසෙකි. ඔහු කවරහුද? ඉෂ්ටකාන්ත මන වඩන ප්‍රිය ස්වභාවය ඇති ඇලුම් කරණ ඇසින් දැක්කයුතු රූපයෝය, ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු කණින් ඇසියයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවූ කාමයෙන් යුතු නාසයෙන් දත යුතු ගන්‍ධයෝය. ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රියවු කාමයෙන් යුතු දිවෙන් දතයුතු රසයෝය, ඉෂ්ට කාන්ත මන වඩන ප්‍රිය කයින් දතයුතු ස්පර්‍ශයෝ යන මොහු පස්කම් ගුණයෝය.

´´උදායීය, මේ පස්කම් ගුණ නිසා යම් සැප සොම්නසක් උපදීද, මේ කාම සැපය, අසුචි සැපයෙක, පුහුදුන් සැපයෙක, අනාය්‍ර්‍ය සැපයෙක, සේවනය නොකළ යුත්තෙක, නොවැඩිය යුත්තෙක, බහුල නොකළ යුත්තෙකැයි කියනු ලැබේ. මේ සැපයට බිය විය යුතුයයි කියමි.

´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් සිතෙහි පැහැදීම ඇති, සිත පිළිබඳ එකඟ බව ඇති, අවිතර්‍ක අවිචාර සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කරයිද, සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද. යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා සිහියෙන්, පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ කාමයෙන් නික්මුනු සැපයයිද, විවේකයෙන් ලත් සැපයයිද, කෙලෙස් සංසිඳුවීමෙන් ලත් සැපයයිද, මාර්‍ගාවබෝධය පිණිස සැපයයිද, සේවනය කළයුතු සැපයයිද, වැඩිය යුතු සැපයයිද, බහුල කළයුතු සැපයයිද කියනු ලැබේ. මේ සැපයට බිය නොවිය යුතුයයි කියමි.

19. ´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මම මෙය කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද, එහි නිරුද්ධ නොකළාවූ විතර්ක විචාරයෝ වෙත්ද, මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන් තමා තුල පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙයද මම කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද? එහි යම් නිරුද්ධ නොකළාවූ ප්‍රීතිය හා සැපය වේද මේ එහි කම්පාවීමයි. උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් ප්‍රීතියේද නොඇලීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කරයි, සිහියෙන් යුක්තවූ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මම මෙයද කම්පාවන ස්වභාවය ඇත්තේයයි කියමි. එහි කම්පාවීම නම් කුමක්ද? එහි නිරුද්ධ නොකළාවූ උපේක්‍ෂා සැපයක් වේද, මේ එහි කම්පාවීමයි. උදායිය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සැපය දුරු කිරීමෙන්ද දුක දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙය මම කම්පා නොවන ස්වභාවය ඇත්තේයයි කියමි.

20. ´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, උදායීය, මෙය මම සෑහේයයි නොකියමි. ´දුරුකරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් විතර්ක විචාරයන් සංසිඳවීමෙන් තමා තුල පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ එය ඉක්මවීමයි. උදායිය, මෙයද මම සෑහේයයි නොකියමි. දුරුකරව්යයි කියමි. ඉක්මවව්යයි කියමි. එහි ඉකමවීම නම් කුමක්ද? උදායීය, මේ ලෝකයෙහි භික්‍ෂුවක් ප්‍රීතියගේද නොඇලීමෙන් උපේක්‍ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ නුවණින් යුක්තවූයේ ශරීරයෙන් සුවය විඳින්නේද, යම් ඒ ධ්‍යානයක් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියද්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි.

´ඉකමවව්´ යයි කියමි. එහි ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සැපයද පහකිරීමෙන් දුකද පහකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපේක්‍ෂා සිහියෙන් පිරිසිදු බව ඇති ඒ සිවුවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මේ එය ඉක්මීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එහි ඉක්මවීම කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, පටිසංඥාවන්ගේ දුරලීමෙන් නානත්තසංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එය ඉක්මවීම කවරේද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එය ඉක්මවීම නම් කුමක්ද? උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි, උදායීය, මම මෙයද, සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. එය ඉක්මවීම කුමක්ද?

´´උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤාණාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි. උදායීය, මම මෙයද සෑහේයයි නොකියමි. ´දුරු කරව්´ යයි කියමි. ´ඉක්මවව්´ යයි කියමි. උදායීය, මේ ශාසනයෙහි භික්‍ෂුවක් සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤාණාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මේ එය ඉක්මවීමයි, උදායීය, මම නෙවසඤ්ඤාණාසඤ්ඤායතනයාගේද දුරු කිරීම කියමි. උදායිය, මම කුඩාවූ හෝ මහත්වූ හෝ යම් සංයෝජනයක්හුගේ පහකිරීම නොකියම්ද එවැනි සංයෝජනයක් දක්නෙහිද?

´´ස්වාමීනි, එසේ නොවේය´´ යි කීය.

22. ´´භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළහ. ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු විය.

හයවෙනිවූ ලටුකිකොපම සූත්‍රය නිමි. (2-6)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: