9.පොට්ඨපාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වාසය කළ සේක. එකල්හි පොට්ඨපාද නම් පරිබ්‍රාජක තෙම ´´සමයප්පවාදක´´ නම්වූ රැස්වී කතා කරන ස්ථානයට (තිඹිරිගස් වලින් වටවූ) එකම ශාලාවක් වැනිවූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පරිබ්‍රාජකයන් ඇති මහත් පරිබ්‍රාජක පිරිස සමග වාසය කෙරෙයි.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිටත්වූ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතක් පහළවිය. සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරීමට කල් වැඩිවෙයි. එබැවින් ඉඳින් මම මල්ලිකා ආරාමයෙහි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම වෙත එළඹෙන්නෙම් නම් ඉතා යහපතැයි, කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා ආරාමයට පැමිණි සේක.

3. ඒ කාලයෙහිපොට්ඨපාද පරිබ්‍රාජක තෙම විශාල පරිබ්‍රාජක පිරිසක් සමග උස්මහත් හඬින්, මහත්සේ නාද කරමින් නොයෙක් පහත් කථා කරමින් සිටියහ.

4. පොට්ඨපාද පරිබ්‍රාජක තෙම එහි පැමිණෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ´´ස්වල්ප ශබ්ද ඇත්තෝ වව්, පින්වත්හු ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙම එයි. ඒ ආයුෂ්මත් තෙම ශබ්දයට නොකැමැත්තේ ශබ්ද නොකිරීමෙහි ගුණ කියන ස්වභාවය ඇතිවූයේ වෙයි´´. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජක තෙම වෙත පැමිණි සේක. එකල්හි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය.

´´ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනා සේක්වා. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම යහපත්ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අපට ප්‍රීතියකි. ස්වාමීණි, මෙහි යම් මේ පැමිණීමක් වීනම් මේ පැමිණීම භාග්‍යවත් තෙම බොහෝ කලකින් කළේය. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස, වැඩ හිඳිනා සේක්වා. මේ ආසනය පනවන ලද්දේය´´ කියායි.

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේද එක් පහත් ආසනයක් ගෙන එක පැත්තක උන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ඇසුවේය. ´´පොට්ඨපාදය, දැන් මෙහි කුමන කථාවකින් යුක්තව උන්නාහුද, කිනම් කථාවක්, කරමින් සිට අතරතුර නැවැත්තුවාහුද?´´

6. මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය. ´´ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව උන්නමෝද, ඒ කථාව තිබුණාවේ. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවත් අසන්නට අපහසු නොවේ. ස්වාමීනි, පසුගිය දවස්වල මෙතෙම කුමක් කියාදැ´´යි අසනු කැමති කථා පවත්නා බවෙින් කොතුහලක නම්වූ ශාලාවක රැස්ව උන්නාවූ නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් අතර ´´පින්වත, කෙසේ (සංඥා නිරොධය) හැඟම් නැතිවීම වේදැයි´´ සංඥා නිරොධ (හැඟීම නිරුද්ධවීම) පිළිබඳ කථාවක් පහළ ව්ය.

´´එහි සමහරු මෙසේ කීහු, ´´පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදින්නාහුද, බිඳීයන්නාහුද වෙත්.
යම් කලක හැඟීම් උපදින්නාහුද එකල හැඟීම් සහිත වේ. යම් කලක නූපදින්නාහුද එකල හැඟීම් නැත්තෙක් වේ යයි, සමහරු ප්‍රකාශ කෙරෙත්.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. ´´පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. පින්වත, හැඟීම් පුරුෂයාගේ ආත්මය වෙයි. ඒ හැඟීම් ඉවත්වන්නේද, පැමිණෙන්නේද වෙයි. යම් කලක හැඟීම් ඉවත්වන්නේද, එකල හැඟීම් නැත්තේ වෙයි. යම් කලක හැඟීම් පැම්ණෙන්නේද, එකල හැඟීම් ඇත්තේ වෙයි.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. මහත් සෘධි ඇති මහත් ආනුභාව ඇති මහණ බමුණෝ ඇත්තාහුය. ඒ මහණ බමුණෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතටද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත්ද එකල හැඟීම් ඇති වෙයි. යම් කලක ඉවතට අදිත්ද, එකල පුරුෂයා හැඟීම් රහිත වේය.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, මහත් සෘධි ඇත්තාවූ මහානුභාව ඇත්තාවූ දේවතාවෝ ඇත්තාහුය. ඒ දේවතාවෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතටද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත්ද එකල හැඟීම් ඇති වෙයි. යම් කලක ඉවතට අදිත්ද, එකල පුරුෂයා හැඟීම් රහිත වේ.´´

´´එකල්හි සුගතවූ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්හි ඉතා දක්‍ෂ නොවේදැ´´යි මට භාග්‍යවතුන් වහන්සේ මතක් විය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හැඟීම් නිරොධය කිරීමෙන්ම දන්නා සේක. ස්වාමීනි, කෙසේ නම් හැඟීම් නිරොධය වේදැ´´යි ඇසුවේය.

7. ´´පොට්ඨපාදය, යම් ඒ මහණ බමුණෙක් පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදිත්යයි, නිරුද්ධ වෙත් යයි කියත් නම් ඔවුන් විසින් පළමුකොට අපරාධයක් කරණ ලද්දේය. ඊට හේතු කවරේද? පොට්ඨපාදය, පුරුෂයාගේ හැඟීම් හේතු ප්‍රත්‍යය සහිතවම උපදින්නාහුද නවතින්නාහුද වෙත්. හික්මීමෙන් සමහර හැඟීම් උපදිත්. හික්මීමෙන් සමහර හැඟීම් නවතිත්.´´

´´හික්මීම කුමක්දැයි´´ ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කී සේක.

(මෙහි 42 වෙනි පිටේ සාමඤඤඵල සූත්‍රයේ 28 ඡෙදයේ සිට 52 ඡෙදය දක්වා ´´මහරජ´´ වෙනුවට ´´පොට්ඨපාදය´´ යොදන්න.

´´මේ ඵලය ඉහත කී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි. බොහෝ සේ ශ්‍රෙෂ්ඨයි´´ වෙනුවට ´´මෙයද ශික්‍ෂායයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක´´ යොදන්න.)

´´පොට්ඨපාදය, නැවතද භික්‍ෂුතෙම හැම ආකාරයෙන් රූප හැඟීම් දුරුවීමෙන් තරහ හැඟීම් දුරුවීමෙන් නොයෙක් හැඟීම් සිහි නොකිරීමෙන් ආකාශය නිමක් නැතැයි සිහිකිරීමෙන් ආකාසානඤ්වායතන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පෙර හැඟීමක් වී නම් ඒ හැඟීම නැති වෙයි. එකල (ආකාසානඤ්වායතන) නිමක් නැත් ආකාශයෙන් ලබන ධන්‍යයෙන් යුක්තවූ නොසියුම් කරුණු පහකිරීමෙන් සියුම්වූ හැඟීම් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි. මීට භාග්‍යවතුන් වහන්සේ හික්මීමය´´යි වදාළ සේක.

8. පොට්ඨපාදය, නැවතද, භික්‍ෂුතෙම හැම ආකාරයෙන්ම (ආකාසානඤ්වායතන) නිමක් නැති ආකාශය භාවනා කිරීමෙන් ලබන ලද ධ්‍යානය දුරුකොට එම (ආකාසානඤ්වායතන) හිත භාවනාකොට (විඤ්ඤාණඤ්වායතනය) නිමෙක් නැති විඤ්ඤාණය භාවනා කිරීමෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති ආකාසාණඤ්චායතනයන්ගේ යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් ඇතිවීද, ඒ හැගීම නැතිවෙයි. එකල විඤඤාණචඤායතනයන්ගේ යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් ඇතිවෙයි. එකල විඤ්ඤාණචඤායතන ධ්‍යාන සැපයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැගීමක් උපදී. සමහර හැගීමක් නැතිවෙයි´´ මීටද භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි වදාළ සේක.

9.´´පොට්ඨපාදය, නැවත භික්‍ෂුතෙම හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය දුරුකොට කිසිවක් නැතැයි භාවනාකොට දැන ආකිඤ්ඤාණඤ්චායතන ඒ හිතේ කිසිවක් නැතැයි යන භාවනාවෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති (විඤ්ඤාණඤ්චායතන) ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කොටස් (පහකිරීමෙන්) සියුම්වූ හැගීමක් ඇතිවීද, ඒ හැගීම් (නිරුඞ වෙයි) නැතිවෙයි, එකලආකිඤ්ඤාණඤ්චායතනයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් වෙයි. එකල ආකිඤ්ඤාණඤ්චායතන ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීම් ඇත්තේම වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැගීමක් උපදී. සමහර හැගීමක් නැති වෙයි. මීටද භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි වදාළ සේක.

10.´´පොට්ඨපාදය, යම් හේතුවකින් මේ ශාසනයෙහි භික්‍ෂුතෙම තමන්ගේ ප්‍රථම ධ්‍යාන හැගීමෙන් හැගීම් ඇත්තේවේද, ප්‍රථම ධ්‍යානයෙන් වෙන්වූ දෙවෙනිධ්‍යානයෙහිද එයින් වෙන්වූ තුන්වෙනි ධ්‍යානයෙහිදැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැගීමෙන් හැගීම් ඇත්තේ වීද පිළිවෙළින් හැගීම් වල මුදුනට පැමිණෙයි. හැගීම් මුදුනෙහි සිටි ඔහුට මෙබදු සිතක් ඇති වෙයි. ´´ධ්‍යානයට සමවදින්නාවූ මාගේ සමවැදීම ලාමක වෙයි. සමනොවදින්නාවූ මාගේ ඒ සමනොවැදීම  උතුම් වෙයි. මම ධ්‍යානයට සමවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති උපදවන්නේ නම් මේ හැගීම් නවතින්නාහ. (විනාශ වන්නාහ) අන්‍යවූ (ඖදාරික භවාංඟ) හැගීම් උපදින්නාහුය. මම ධ්‍යානයට සමනොවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නේ නම් යහපතැයි´´ ඔහු සමනොවදී, මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නාවූ ඔහුගේ ඒ ධ්‍යාන හැගීම්ද නවතිත්, (විනාශ වෙත්) අන්‍යවූද ඖදාරික භවාංඟ හැගීම් නූපදිත්. මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂුතෙම හැගීමෙන් දත යුතුවූ හැගීම් නිරොධය ලබයි.

´´පොට්ඨපාදය, මෙසේ නුවණ ඇති භික්‍ෂුහුගේ පිළිවෙළින් හැගීම (සිත) නිරුඞ කරන්නාවූ සමාපත්තිය වෙයි´´ වදාළ සේක.

11.´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක්ද? ඔබ විසින් මීට පෙර මෙබඳුවූ නුවණැති භික්‍ෂුහුගේ පිළිවෙළින් හැගීම් නැතිවීමෙහි සමාපත්තියක් ඇසුවේදැ´´යි විචාළ සේක. ´´ස්වාමීනි, නොඇසුවෙමි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එකම ආකිඤ්ඤාණඤ්චායතන හැගීම් අතුරෙන් කෙළවරට ගිය හැගීමයයි යම් හැගීම් පණවන සේක්ද, නොහොත් වෙනත් සමාපත්තීන්හි බොහෝවූ මුදුන් පැමිණි හැගීම් පණවනසේක්දැ´´යි ඇසුවේය.

´´පොට්ඨපාදය, මම මුදුන් පැමිණි හැගීම් එකක්ද පණවමි බොහෝවූ මුදුන් පැමිණි හැගීම්ද පණවමියි´´ වදාළ සේක.

´´ස්වාමීනි, භාග්‍යවත් තෙමෙ කෙසේ එය පණවන සේක්දැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, පෘථිවි කසිණාදීන් අතුරෙන් යම් යම් කසිණයකින් හෝ ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් යම් යම් ධ්‍යානයකින් හෝ චිත්ත චෛතසිකයන්ගේ නැවතීමට පැමිණේද, ඒ ඒ කසිණයකින් හෝ ඒ ඒ ධ්‍යානයකින්මම මුදුන් පැමිණි හැගීම් පණවමි. පොට්ඨපාදය, මම එසේ එක් මුදුන්පත් හැගීමක්ද බෝහෝවූ මුදුන්පත් හැගීම්ද පණවමියි´´ වදාළ සේක.

12.´´ස්වාමීනි, චිත්ත චෛතසික නවත්වා එයින් නැගිටින භික්‍ෂුවට අරහත්ඵල සිත පළමුව උපදීද, පසුව ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීද, නොහොත් අරහත්ඵල සිත හා ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය එකවිට උපදීදැයි´´ විචාළේය.

´´පොට්ඨපාදය, අරහත්ඵල සිත පළමුව උපදියි. ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය පසුව උපදියි. අරහත්ඵල සිත ඉපදීමෙන් පසු ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීම වෙයි. අරහත්ඵල සමාධි සිත හෙතුකොට ගෙන මාගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදින්නෙයයි ඒ භික්‍ෂුතෙම දනියි. අරහත්ඵල සමාධි හැගීම් ඉපදීමෙන් ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීම වෙයි. මෙසේ මෙසේ මේ ක්‍රමයෙන් මෙය දත යුතුයයි´´ වදාළ සේක.

13.´´ස්වාමීනි, හැගීම් පුරුෂයාගේ ආත්ම වේද නොහොත් හැගීම් අනිකක් වේද, ආත්මය අනිකක් වේදැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, නුඹ කුමක් නම් ආත්මයයි සළකන්නේහිදැයි?´´ ඇසුසේක.

´´ස්වාමීනි, මම මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ මේ කය ආත්මයයයි සලකමි´´යි කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කල නුඹට හැගීම අනිකක් වන්නීය. ආත්මය අනිකක් වන්නේය. ´´පොට්ඨපාදය, යම්සේ හැගීම් අනිකක් වන්නීද, ආත්මය අනිකක් වන්නේද මේ ක්‍රමයෙන් ඒ මේ කාරණය දැනගත යුතුයි. පොට්ඨපාදය, මේ මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ ඒ මේ ආත්මය නවතීවා.

´´එසේ කල මේ පුරුෂයාට වෙනත් හැගීම් උපදිත්, වෙනත් හැගීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැගීම් අනිකක්ම වන්නීද, ආත්මය අනිකක්ම වන්නේද, මෙසේ මේ ක්‍රමයෙන් මේ කාරණය දත යුතුයයි´´ වදාළ සේක.

14.´´ස්වාමීනි, මම ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුන්ගෙන් නොපිරිහුනාවූ හිතෙන් හටගත් දෙයකැයි දැන ගතිමියි´´ කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කලත් ඔබට හැගීම අනිකක් වන්නීය ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැගීම් අනිකෙක්ම වන්නීද, ආත්මය අනිකෙක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැනගත යුතුය. පොට්ඨපාදය, ඒ මේ ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන්ගෙන් නොපිරිහුනාවූ හිතින් කරන ලද්දේය යනු තිබුනාවේ. එකල මේ පුරුෂයා හට අන්‍යවූ හැගීම් උපදිත්, අන්‍යවූ හැගීම් නැතිවෙත්ය´´යි වදාළ සේක.

15.´´ස්වාමීනි, මම ආත්මය රූපයක් නැති හැගීමයයි දනිමි´´යි කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කලද ඔබට හැගීම අනිකක් වන්නීය, ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැගීම අනිකක්ම වන්නීද, ආත්මය අනිකක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද, ඒ මේ කාරණය දත යුතුය. පොට්ඨපාදය, ආත්ම රූප නැති හැගීම්ය යනු තිබුනාවේ. එසේ ඇති කල මේ පුරුෂයාට අන්‍යවූ හැගීම් උපදිත්, අන්‍යවූ හැගීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැගීම අනිකෙක්ම වන්නීද, ආත්මය අනිකෙක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැනගත යුතුයයි´´ වදාළ සේක.

16.´´ස්වාමීනි, හැගීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැගීම අනිකක්මය, ආත්මය අනිකක්දැයි කියා හෝ මා විසින් දැනගත හැක්කේදැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, ඔබ විසින් හැගීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැගීම අනිකෙකආත්මය අනිකක්දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේ යයි´´ වදාළසේක.

17.´´ස්වාමීනි, හැගීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැගීම අනිකෙක ආත්මය අනිකක්දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේ වේ නම්, කිමෙක්ද ස්වාමීනි, ලෝකය සදාකාලික යන මේ කීමම සත්‍යද සදාකාලික නොවේයයි යන අනික් කීම අසත්‍යදැ´´යි ඇසුවේය.

´´පොට්ඨපාදය, ලෝකය සදාකාලික යන මේ කීමම සත්‍යය දාකාලික නොවේයයි යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය සදාකාලික ලෝකය සදාකාලික නොවේයයි යන මේ කීමම සත්‍යය, සදාකාලිකය යන අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය කෙළවරක් ඇත්තේය. යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය කෙළවරක් නැත්තේය යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, සත්වයා මරණින් මතු උපදින්නේ නොවෙයි, නූපදින්නේ නොවෙයි යන මේ කීමම සත,්‍යය, අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´ යයි වදාළසේක.

18.´´ස්වාමීනි, කවර කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේකාරණය ප්‍රකාශ නොකළසේක්දැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, මේ ලෝකය සදාකාලිකය යන (දැක්ම) ඇදහීම තමාට හෝ අනුන්ට යහපත් සහිත නොවෙයි. ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීමේ සුලු කොටසක්වත් නොවෙයි, සංසාරයෙහි කලකිරීම පිණිස නොවෙයි, නොඇලීම පිණිස නොවෙයි, නිදහස්වීම පිණිස නොවෙයි, සංසිදුවීම පිණිස නොවෙයි, විශේෂයෙන් දැන ගැනීම පිණිස නොවෙයි, අවබෝධය පිණිස නොවෙයි, නිවන් අත්කර ගැනීම පිණිස නොවෙයි, එබැවින් ඒ මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´යි වදාළසේක.

19.´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කූමක් ප්‍රකාශ කරණ ලද්දේදැ´´යි විචාළසේක.

´´පොට්ඨපාදය, මා විසින් දුක මේයයි දුක් ඇතිවීමට හේතු මේයයි දුක් නැතිකිරීම මේයයි දුක් නැතිකිරීමට පමුණුවන්නාවූ පිළිපැදීම (මාර්ගය) මේයයි ප්‍රකාශ කරණ ලද්දේය´´යි වදාළසේක.

20.´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුමක් නිසා ප්‍රකාශ කරණ ලද්දේදැ´´යි ඇසුවේය.

´´මෙය තමන්ට යහපත සහිත වෙයි. ලෝකයෙන් එතෙර වන ධර්ම නවය සහිත වෙයි ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීම වෙයි, සංසාරයට කලකිරීම පිණිස පවතියි, එහි නොඇලීම නිදහස්වීම, සංසිදුවීම, විශේෂයෙන් දැන ගැනීම, අවබෝධය, නිවන් අත්කර ගැනීම පිණිස පවතී එබැවින් මා විසින් මෙය ප්‍රකාශ කරණ ලද්දේය´´යි වදාළසේක.

´´භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය, සුගතයන් වහන්ස, ඒ එසේය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට කැමැත්තේ නම් දැන් ඊට කාලයයි´´ කීයේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ හුන් ආසනයෙන් නැගිට වැඩිසේක.

21.එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ කලකින් ඒ පරිබ්‍රාජකයෝ පොට්ඨපාද පරිබ්‍රාජකයාට වචන නැමැති කෙවිටිවලින් ඇන්නෝය.

පොට්ඨපාද පරිබ්‍රාජක තෙම ඒ පරිබ්‍රාජකයන්ට මේ කාරණය දැන්වීය.

´´පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දේශනා කරණ ලද්දාවූ කිසි ධර්මයක් මමද නොදනිමි, එසේ වුවත් ශ්‍රමණ ගෞතම තෙම ස්වභාවයෙන් පැහැදිලිවූද, සත්‍යවූද, ලෝකයෙන් එතෙරවන ධර්ම නවයෙහි (නව ලෝකොත්තර ධර්මයෙහි) පිහිටියාවූද ස්ථිරවූ මාර්ගයක් පණවයි. ස්වභාවයෙන් පැහැදිලිවූ සත්‍යවූ ලෝකයෙන් එතෙරවූ ධර්මහි පිහිටියාවූ ස්ථිරවූ මාර්ගයක් පණවන්නාවූ

ශ්‍රමණ ගෞතමයන් විසින් යහපත පිණිස කියනලද ධර්මය මා වැනි නුවණැත්තෙක් යහපත පිණිස කියනලදක් වශයෙන් කෙසේ නම් සතුටු නොවෙම්දැයි´´ කීයේය.

22.එවිට දෙතුන් දවසක් පසුවූ කල ඇතුන බලනනා ගේ පුත්‍රවූ චිත්‍රද පාට්ඨපාද පරිබ්‍රාජකයාද භාග්‍යවතුන් වහන්සේ වේත් පැමිණ, චිත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පැත්තකටවී උන්නේය. පාට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කතාව කොට එක පැත්තකටවී උන්නාවූ පාට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය.

´´ස්වාමීනි එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් ඒ පරිබ්‍රාජකයෝ මට වචන නමැති කෙවිටි වලින් ඇන්නෝය´´.

´´පොට්ඨපාදය, මේ සියලු පරිබ්‍රාජකයෝ නුවණ ඇස් නැති අන්ඳයෝය. එහෙයින් ඇස් නැත්තෝය. ඔවුන් අතුරෙන් ඔබම (සුභාෂිතය) යහපත පිණිස කියන ලද්ද, (දුර්භාෂිතය) යහපත පිණිස නොවන කියමන දන්නාවූ එකම ඇස් ඇත්තෙහිය. පොට්ඨපාදය, මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා කරණ ලද්දාවූ පණවන ලද්දාවූ ධර්මයෝදවෙත්. මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරණ ලද්දාවූ නොපණවන ලද්දාවූ ධර්මයෝදවෙත්.

´´පොට්ඨපාදය, කවර කාරණයකින් ඒ ධර්මය මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරණ ලද්දේද නොපණවන ලද්දේද, පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේ යහපත උදෙසා හෝ අනුන්ගේ යහපත උදෙසා යුක්ත නොවෙත්. උසස් හැසිරීමෙන් යුක්ත නොවෙත් සංසාරයට කලකිරීම, එහි නොඇල්ම, එයින් නිදහස් වීම, එය සංසිදුවීම, පැහැදිළි කරගැනීම අවබෝධ කරගැනීම පිණිස නොවෙත්. නිවන් ලැබීම පිණිස නොවෙත් එබැවින් මා විසින් ඒ ධර්ම ඒකාන්ත (ස්ථිර) කොට දේශනා නොකලාවූ නොපණවන ලද්දාහු වෙත්.

´´පොට්ඨපාදය, මා විසින් දුක මෙයයි ස්ථිර කොට ධර්මය දේශනා කරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. දුක හට ගැනීම මෙයයි, දුක නැති කිරීම මෙයයි, දුක් නැති කිරීම, දුක් නැති කිරීමේ පළිපැදීම මෙයයි ස්ථිර කොට මා විසින් ධර්මය දේශනා කරණ ලද්දේ පණවන ලද්දේ වෙයි.

´´පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වෙත් මේ ධර්ම උතුම් ධර්මයෙන් යුක්ත වෙත්. මේ (බ්‍රහ්මචර්යාව) යතුම හැසිරීමෙන් යුක්ත වෙත්. මේ සංසාරයෙහි කලකිරීම පිණිසද, නොඇල්ම පිණිසද, සංසිඳීම පිණිසද,විශේෂයෙන් දැනගැනීම පිණිසද,අවබෝධය පිණිසද, නිවන් ලැබීම පිණිසද, පවතිත්. පොට්ඨපාදය, එබැවින් මාවිසින් ඒ ධර්ම ස්ථිරකොට දේශනාකරණ ලද්දාහු පණවනලද්දාහු වෙත්.

23.´´පොට්ඨපාදය, ආත්මය වෙනස් නොව සදාකාලිකවූ සැප ඇති, මරණින් මතු සදාකාලිකවේය යන මත ඇති සමහර මහණ බමුණෝ වෙත්. මම ඔවුන් වෙතපැමිණ මෙසේ කියමි. ´´ආයුෂ්මතුනි, ඔබලා ඇත්තෙන්ම සැප ඇති ලෝකය නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර ආදී දිසාවන්හි හෝ වේ දැයි දන්නාහු දක්නාහු වෙසෙත් දැයි මෙසේ අසන ලද්දාහු ´´නොදක්නෙමු´´ යයි කියත් ඔවුන්ට මම මෙසේ කියමි ආයුෂ්මතුනි, එක් රැයක් මුලුල්ලේ හෝ එක් දවාලක් මුලුල්ලේ හෝ රෑ භාගයක් මුලුල්ලේ හෝ එක් දවල් භාගයක් මුලුල්ලේ හෝ ඒකාන්ත සැප ඇති ආත්මයක් ඔබලා දනිව් දැයි මෙසේ අසන ලද්දාහු ´´නොදනිමු යයි කියත්ද ඔවුන්ට මම මෙසේ කියමි ´´ආයුෂ්මතුනි, කිමෙක්ද? ඒකාන්ත සැප ඇති ලෝකය අවබෝධ කරගැනීමට මාර්ගය මේය, පැවතුම් පිළිවෙල මේයයි ඔබලා දනිත් දැයි ´´ මෙසේ අසන ලද්දෝ ´´නොදනිමුයයි´´ කියත්. ඔවුන්ට මම මෙසේ කියමි ´´ආයුෂ්මතුනි, යම් ඒ දෙවතාවෝ ඒකාන්ත සැප ඇති ලෝකයෙහි උපන්නාහු දුක් නැත්තානනි, ඒකාන්ත සැප ඇති ලෝකය අවබෝධ කරණු පිණිස පිළපදින්නාහුවව්, අවංක පිළපදින්නාහුවව්, දුක් නැත්තානනි, අපි එසේ පිළපදින්නාහු ඒකාන්ත සැප ඇති ලෝකයෙහි උපන්නෙමුයයි කියන්නාවූ ඒ දෙවතාවන්ගේ ශබ්දය අසව් දැයි´´ මෙසේ අසන ලද්දාවූ ´´ඒ ශබ්දයක් නොඇසූවෙමු´´ යයි කියත්.

24.´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේද? මෙසේ ඇති කල ඒ මහණ බමුණෝ නැතැයි කීමෙන් උත්තර නැති බවට පැමිණෙන්නෝ නොවෙත්දැයි´´ ඇසූ සේක.

´´ස්වාමීනි, එසේවූ කල ඒ බමුණන්ගේ නැතැයි කීමේන් උත්තර නැති බවට ඒකාන්තයෙන් පැමිණෙත්මය´´යි කීයේය.

´´පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නෙද, මේ ජනපදයෙහි යම් ස්ත්‍රියක් ඉතා රූප ලක්‍ෂණ වේද මම ඈ ඕනෑ කරමි, කැමති වෙමි´´යි ඔහුට මෙසේ කියන්නාහුය. ´´ඔබ කියන ලද ඔතා ලක්‍ෂණ ඇති ඒ ජනපද කළ්‍යාණිය ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි හෝ වෙළඳ කුලයෙහි හෝ ක්‍ෂුද්‍ර කුලයෙහි හෝ කියා දන්නේදැයි´´ ඇසූ කල ඔහු ´´නොදනිමි´´ කියයි. ඒ මේ පුරුෂයාහට මෙසේ කියන්නාහු, ´´පුරුෂය, ඒ ජනපද කළ්‍යාණි මේ නම් ඇත්තීය, මේ ගෝත්‍ර ඇත්තීය කියා හෝ උස් හෝ මිටිය හෝ මධ්‍යමය කියා හෝ කලුය හෝ රන්වන්ය හෝ දුඹුරුවන්ය හෝ නියම් ගමෙහි හෝ නුවරෙහි හෝ කියා දනනෙහිදැ´´යි මෙසේ අසන ලද්දේ ´´නොදනිමි´´යි කියන්නේය. ඒ මේ අයට මෙසේ කියන්නාහුය. ´´පුරුෂය, ඔබ යම් ස්ත්‍රියක් නොදනනෙහිදැ´´යි මෙසේ ඇසූ කල ´´එසේය´´යි කියන්නේය.පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේද? මෙසේ ඇති කල ඒ පුරුෂයාගෙ කීම උත්තර නැති බවට පැමිණෙ නොවේදැයි´´ ඇසූ සේක.

´´ස්වාමීනි, එසේ ඇති කල ඒ පුරුෂයාගෙ කීම ඇත්තෙන්ම උත්තර නැති බවට පැමිණේමය´´යි කීයේය.

25.´´පොට්ඨපාදය, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම භාවයක් ලැබීම් තුනක්

ඤෆු ්‍ර16රැ%

වෙත්. රූප සහිතවූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ කන බොන ආහාර ගන්නාවූ ආත්මයක් ලැබීමත් වේද, මෙය කාම භාවයෙහි ආත්ම ලැබීම වේ. රූපීවූ සිතින් උපන්නාවූ සියලු අංග කොටස් ඇත්තාවූ යම් ආත්මයක් ලැබීමක් වේද, මෙය රූපභවයෙහි ආත්ම ලැබීම වෙයි. අරූපීවූ හැගීමෙන් උපන්නාවූ ආත්ම ලැබීමක් වේද. මෙය අරූපවූ ආත්ම ලැබීමක් වේද. මෙය අරූපවූ ඇත්ම ලැබීමවේ.

26.´´පොට්ඨපාදය, මම කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම භාවයක් ලැබීම් නැති කිරීම පිණිස ධර්ම දේශනා කරමි. යම් පිළිපැද්දාවූ තොපගේ ක්ලේශ ධර්ම පහවන්නාහුද ශමත විදර්ශනා ධ්‍යාන නම් සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන පැමිණ අවබෝධකොට වාසය කරන්නාහුයයි, පොට්ඨපාදය, ක්ලේශ සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්මයෝ වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරන්නේද ඔහුගේ වාසය කිරීම දුක්යයි ඔබට මෙබදු කල්පනාවක් වන්නේද, මේ කාරණය එසේ නොදත යුතුය. ක්ලේස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ වැඩීමද මහත් භාවයද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරන්නේ නම් මහත් සන්තෝසයද ප්‍රීතියද සිත හා ශරීරයේ සංසිදීමද යහපත්ව පිහිටි සිහියද සියලු වාසය කිරීම් අතුරෙන් සැපවූ වාසය කිරීමක්ද වන්නේය.

27.´´පොට්ඨපාදය, යම්සේ පිළිපදිනනාවූ ඔබගේ ක්ලේස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥා වැඩීමද මේ ආත්මයෙහි තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේ වේද මම රූප භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දේශනා කරමි.

28.´´පොට්ඨපාදය, ´´යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගපල ප්‍රඥා පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්´´ යයි යම් කාම භවයෙහි ආත්ම ලැබීම පහකිරීමඔබ වහන්සේ ධර්ම දේශනා කරණ සේක්ද, ඇවැත්නි, කාම භවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම ලැබීම කවරේදැයි´´ ඉදින් අන්‍යයෝ අපගෙන් මෙසේ අසනකල එසේ අසන ලද්දාවූ අපි ´´යම්සේ පිළිපදින්නාව ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූ, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගපල ප්‍රඥා පිරීමද, මහත් භාවයද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්යයි මෙසේ කාම භවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස අපි ධර්ම දේශනා කරමුද, ´´ඇවැත්නි, ඒ ආත්ම ලැබීම මේ හෝ වේයයි´´ ප්‍රකාශ කරන්නෙමු.

´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේ ඇති කල මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේදැයි´´ කීසේක.

´´ස්වාමීනි, එසේ ඇති කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණේමයයි කීයේය.

29.´´පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රසාදයකට නගිනු පිණිස ඒ ප්‍රසාදය යට ඉණිමගක් කරනනේය ඒ මේ පුරුෂයාහට ´´පුරුෂය, ඔබ යම් ප්‍රසාදයකට නගිනු පිණිස ඉණිමගක කරන්නේහිද, ඒ ප්‍රසාදය උසද මිටිද මධ්‍යමද දන්නේහිදැයි´´ අසන ලද්දේ ´´දනිමි´´ කියන්නාහුද, ´´ඇවැත්නි, යම් ප්‍රසාදයකට නගිනු පිණිස ඒ ප්‍රසාදයෙහිම යට ඉණිමගක් කෙරෙම්ද ඒ මේ ප්‍රආදයයි´´ ඉඳින් ඔහු මෙසේ කියනනේද, පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ නොවේදැ´´යි ඇසුවේය.

´´ස්වාමිනී, මෙසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ මයයි´´ කීයේය.

30.´´පොට්ඨපාදය, එසේම ඉඳින් අපේන් මෙසේ අසන්නාහුද, ´´ඇවැත්නි, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ සිත කිලිටු කරන්නාවූ ධර්ම පහවන්නාහුද, මාර්ගපල මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරව්යයි ඔබවහන්සේ යම් ආත්ම ලැබීමක් පහකිරීම පිණිස ධර්ම දේශනා කරණසේක්ද, ඇවැත්නි, ඒ කාම භවයෙහි රූප භවයෙහි, අරූප භවයෙහි ආත්ම ලැබීම කවරේදැ? එසේ අසන ලද්දාවූ අපි යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරව්යයි යම් කාමභවයෙක්හි රූපභවයෙක්හි අරූපභවයෙක්හි ආත්ම ලැබීමක් දුරුකිරීම පිණිස අපි ධර්ම දේශනා කරමුද, ඇවැත්නි, ඒ කාමභවයෙහි රූප භවහෙි අරූප භවයෙහි ආත්මලැබීම මේයයි ඔවුන්ට අපි ප්‍රකාශ කරන්නෙමු. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේවූ මා දෙසූ ධර්මය උත්තර සහිත බවටපැමිණෙන්නේ නොවේදැයි´´ ඇසූ සේක.

´´ස්වාමිනී, එසේවූ කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට ඒකාන්තයෙන්ම පැමිණෙන්නේයයි´´ කීයේය.

31.මෙසේ කී කල ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල ඔහුට රූපභවයෙහි හෝ අරූපභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි´´. ´´ස්වාමිනී, යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවයෙහි හෝ අරූපවූ ආත්ම ලැබීමක් නැත්තේය. ස්වාමිනී, යම් කලක අරූපවූ ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවයෙහි හෝ රූප භවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි.´´

32.´´චිත්‍රය, යම් කලෙක කාමභවයෙහි ආත්ම ලැබීකම් වේද, එකල රූපභවයෙහි හෝ අරූපවූ ආත්මභාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, යම් කලක රූප භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි හෝ අරූප ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, යම් කලක අරූපවූ ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි හෝ රූපභවයෙහි ආත්මක් ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, ඉදින් ඔබගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ අතීත කාලයේ වූයෙහිද නුවූයේ නොවෙහිද, ඔබ මතු කාලයෙහි නොවන්නෙහිද, ඔබ නොවෙන්නේ නොවෙන්නෙහිද, ඔබ දැන් ඇත්තෙහිද, නැත්තේ නොවෙහිදැ´´යි චිත්‍රය,මෙසේ අසන ලද්දාවූ ඔබ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?´´

´´ස්වාමිනී, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. ´´මම අතීත කාලයෙහි වීමි. මම නුවූයේ නොවෙමි. මම අනාගතයෙහි වන්නෙමි. මම නොවන්නේ නොවෙමි. මම දැන් ඇත්තේ වෙමි. මම නත්තේ නොවෙමි.´´

33.´´චිත්‍රය, ඔබගෙන් මෙසේ අසන්නාහු නම්, ´´ඔබගේ යම් අතීත ආත්මයක් ලැබීමක් වූයේද එයම ඔබට ඇත්තේ නොවේද? එකල අනාගත ආත්මය නැත්තේ නොවේද, වර්තමාන (දැන්පවත්නා) ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් අනාගත ආත්මයක් වන්නේ නම්, එයම ඔබට ඇත්තේ නොවේද? අතීත ආත්මය නැත්තේ නොවේද? වර්තමාන ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් වර්තමාන ආත්මයක් වේද? එයම ඔබ ඇත්තේ නොවේද? අතීත ආත්මයක් නැත්තේ නොවේද? අනාගත ආත්මයක් නැත්තේ නොවෙදැ´´යි ඇසීය.

´´ස්වාමිනී, එසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි, ´´මාගේමේ අතීතවූ ආත්මය ලැබීමක් වීද, මාගේ ඒ ආත්මය ලැබීම ඒ කාලයෙහි ඇත්තේම විය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීමක් නොවන්නේය. දැන් කාලය ඒ ආත්මය ලැබී නැත්තේය. මාගේ යම් අනාගතවූ ආත්ම ලැබීමක් වන්නේද, ඒ මාගේ අනාගත ආත්මය ඒ කාලයේ වන්නේය. අතීතයෙහි ඒ අනාගත ආත්ම ලැබීම නැත්තේය. දැන් කාලයෙහිද ඒ ආත්මය ලැබීම නැත්තේය. මගේ යම් දැන් මේ කාලයේ ආත්ම ලැබීමක් වේද, ඒ මාගේ ආත්ම ලැබීම දැන් මේ කාලයෙහිවේ. අතීතයෙහි ඒ ආත්ම ලැබීම නැත්තේය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීම නොවන්නේයයි,´´ ස්වාමිනී, මෙසේ අසනලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි´´යි කියේය.

34.´´චිත්‍රය, එසේම යම් කලක කාම භවයෙහි ආත්ම ලැබීමක් වේද එකල රූපයෙහි ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි, අරූපවූ ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. එකල කාමභවයෙහි ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි. එසේම රූප භවයෙහිද අරූපභවයෙහිද වෙයි.

35.´´චිත්‍රය, එමෙන්ම යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල රූපභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි, අරූපවූ ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි. එකල කාම භවයෙහි ආත්ම කොටසටම පැමිණෙයි එසේම රූපභවයෙහි හෝ අරූපවූ ආත්ම ලැබීමෙහි වේ චිත්‍රය, යම් නාමයන් තථාගත තෙම ව්‍යවහාර කෙරේද, ලොභ (දෘෂ්ඨි) ඇදහීම් වශයෙන් නොගණීද, මේ ´´කාමභවයෙහි ආත්ම ලැබීම´´ යන නාම ලෝකයාගේ නාම වෙත් ලෝකයාගේ වචන වෙත්, ලෝක ව්‍යවහාරවෙත්. ලෝකයාගේ පැණවීම් වෙත්යයි´´ කීසේක. ´´චිත්‍රය, ´´රූපභවයෙහි ආත්ම ලැබීමද අරූප ආත්ම ලැබීමද එසේම වෙත්.´´

36.මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´ස්වාමිනී, ධර්මදේශනාව ඉතා යහපති, ස්වාමිනී ධර්ම දේශනාව ඉතා යහපති, ස්වාමිනී, මේ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද භික්‍ෂු සංගයාද සරණ යමි. භාග්‍යවත් තෙම මා අද පටන් පණ ඇති තෙක් සරණ ගියාවූ උපාසකයෙකැයි දරාගන්නා සේක්වා´´.

37.ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´ස්වාමිනී, ධර්මදේශනාව ඉතා යහපති, මේ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද භික්‍ෂු සංගයාද සරණ යමි. ස්වාමිනී, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාවද ලබන්නෙමි.

38.ඔහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාවදලැබූයේය. මෑත උපසම්පදාවූ ඔහු සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍යය ඇතුව ආත්ම ආලය දුරුකර වාසය කරමින් කුල පුත්‍රයෝ (යහපත් ගති ඇත්තෝ) යමක් සඳහා හොඳින් ගිහිගෙයින් ගොස් ශාසනයෙහි මහණ වෙත්ද, ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන් කොට ඇත්තාවූ නිවණ මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කළේය. උත්පත්තිය නැතිවීය, මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ස්කන්ධ සන්තානය පිණිස අනිකක් නැතැයි දන්නේය. ඔහු රහතුන් අතුරෙන් එක් රහත් නමක් වූයේයි.

(නමවෙනිවූ පොට්ඨපාද සූත්‍රය නිමියේය.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: