27. අග්ගඤ්ඤ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහහිවූ පූර්වාරානයෙහි වැඩවසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත්ද? හෙළාදැකීම නොකෙරෙත්ද?´´

2. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති.´´

´´බ්‍රාහ්මණයෝ අපට මෙසේ කියති. ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රහ්මයා විසින මවන ලද්දාහුය. බ්‍රහ්මයාගෙම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීනවූ මාර පක්‍ෂයෙහිවූ බඹහුගේ පාදයෙන් උපන්නාවූ අපිරිසිඳුවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි´´ කියාය.´´

´´වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප්වූද, දරුගැබ් ඇත්තාවූද, දරුවන් වදන්නාවූද, දරුවන්ට කිරි පොවන්නාවූද බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යෝනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ඔහු තුමූ බ්‍රහ්මයාටද බොරුවෙන් හෙළාදකිත්. බොරුද කියත්. බොහෝ පව්ද රැස්කර ගනිත්.´´

3. ´´වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්මරුවෝය) කියාය. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ප්‍රාණාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරැ කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂ වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිත්‍යාදෘෂ්ඨි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.´´

´´මෙසේ යම් ධර්ම කෙනෙක් අකුසල වෙත්ද, ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි දක්නා ලැබෙත්. ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. ´´

4. ´´වාසෙට්ඨය, මේ ලෝකයෙජහි සමහර ක්‍ෂත්‍රියෙක්ද ප්‍රාණාතයෙන් වැළකුණේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීනෙන් වැළකුණේ වෙයි. බොරැකීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන්වැළකුණේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයි. හිස්වචන කීමෙන් වැළකුණේ වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රෝධයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යක්දෘෂ්ඨි (හරි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි, සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද, සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.´´

´´බ්‍රාහ්මණයෝ, ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය´´ යන ඔවුන්ගේ ඒ කථාව නුවණැත්තෝ පිළිනොගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්‍ෂත්‍රියාදී) සතර වංශයන් අතුරෙන් (එකකට ඇතුළත්වූ) යම් භික්‍ෂුවක් රහත්වූයේද, නැති කරන ලද ආශ්‍රව ඇත්තේ වේද, වාසය කොට නිම කරන ලද බ්‍රාහ්මචා්‍ර්‍යවාස ඇත්තේද, කරන ලද සිවුමහ කටයුතු ඇත්තේද, බාහා තබන ලද ස්කන්ධ බර ඇත්තේද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද, පරලෙව්හිද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේද, එය මේ ආකාරයෙන්ද දත යුතුයි.´´

5. ´´වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙමේ තමන්ට වඩා උසස් අනෙකෙකු නැති හෙයින් අනුත්තර නම්වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූයේයයි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජුහට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජුහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, පසේනදි කොසොල් රජුහු ගරු සැලකිලි පැවැත්වීමද, වැඳීමද, දැක හුනස්නෙන් නැගී සිටීමද, ඇඳිලි බැඳීමද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද තථාහතයන් වහන්සේට කරයි.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද, පරලෙව්හිද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේද, එය මෙකී ආකාරයෙන්ද දත යුතුයි.´´

6. ´´වාසෙට්ඨය, ´´තෙපි කවරුහුදැ´´යි විචාරණ ලද්දාහුම ´´ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයම්හ´´යි ප්‍රකාශ කරන්නාහුය. මම භාග්‍යවතුන වහන්සේගේ පුත්‍ර වෙමි. ඊට හේතු කවරේද?වාසෙට්ඨය, ධම්මකාය යනුද, බ්‍රහ්මකාය යනුද, ධම්මභූත යනුද, බ්‍රහ්මභූත යනුද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.´´

´´ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

7. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර් කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

8. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර් කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතියද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීමද පෙණුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැතිවී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්තවිය, රසයෙන් යුක්තවිය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැතිවී ගියේය. එකල බදාලතා නම්වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද බෙහෝසෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැතිවී ගියේය.´´

´´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´කුඩු රහිතවූ දහයියා, (පොතු) රහිතවූ සුවඳ ඇත්තාවූ සහල්ම ඵල කොට ඇත්තාවූ හැළ් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත්ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද බෙහෝසෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙණවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූද එකල්හි කුඩුද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´

´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´

9. ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොට ගෙණ) පාවිච්චි කළේය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැණීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැණීම පහළ විය.´´

10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වීද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වීද ඒ සත්වතෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමටද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමටද, නෙරපිය යුත්තහු නෙරපීමටද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිණවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍රයයි දන්නා ලද්දාවූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමානවූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මෙ ලෝකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´

´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළවූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතටද, නියම්ගම් වෙතටද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින්ද, උගන්වමින්ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´

´´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත්යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨයයි සම්මත වෙයි.´´

´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණවූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුණාහ.´´

´´´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´

´´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහුද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´

´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශුද්‍රයයි යන නාම විය.´´

´´මෙසේ මේ පුරාණ ශුද්‍ර සමූහයාගේ පහළවීම පිළිබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

11. ´´වාසෙට්ඨය, යම් හේතුවකින් ක්‍ෂත්‍රිය තෙමේද, බ්‍රාහ්මණ තෙමේද, වෛශ්‍ය තෙමේද, ශුද්‍ර තෙමේද තමාගේ ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේද, එබඳු කාලයක් වේමය.´´

´´වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් අමූහ අතුරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය.´´

12. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේද, බ්‍රාහ්මණ තෙමේද, වෛශ්‍ය තෙමේද, ශුද්‍ර තෙමේද, ශ්‍රමණ තෙමේද කයින් දුෂ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිර, සිතින් දුෂ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්ව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුගති නම්වූ විනිපාත නම්වූ නිරයෙහි උපදියි.´´

13. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේද, බ්‍රාහ්මණ තෙමේද, වෛශ්‍ය තෙමේද, ශුද්‍ර තෙමේද, ශ්‍රමණ තෙමේද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යග්දෘෂ්ටිව, සම්‍යග්දෘෂ්ටි කර්ම සමාදන්ව, සම්‍යග්දෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදනේය.´´

14. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේද, බ්‍රාහ්මණ තෙමේද, වෛශ්‍ය තෙමේද, ශුද්‍ර තෙමේද, ශ්‍රමණ තෙමේද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍රවූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍රවූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව දුක් දෙකම විඳින්නේ වෙයි.´´

15. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේද, බ්‍රාහ්මණ තෙමේද, වෛශ්‍ය තෙමේද, ශුද්‍ර තෙමේද, ශ්‍රමණ තෙමේද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කෙට්ඨාස වශයෙන් සත් වැදෑරුම්වූ බෝධිපාක්‍ෂික ධර්මයන් (මාර්ග ඥානය ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්ම භාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.´´

16. ´´වාසෙට්ඨය, මේ සතර වංශ අතුරෙන් යම් භික්‍ෂුවක් අර්හත් වූයේද, නැති කරන ලද කෙලෙස් ඇත්තේද, වැස නිම කරන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේද, බහා තබන ලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේද, පැමිණියාවූ තමාගේ අර්ථය ඇත්තේද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේද, මනා කොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හේතෙමේ ඔවුනතුරෙන් අග්‍රයයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මේ ලෝකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රේෂ්ඨයි.´´

´´වාසෙට්ඨය, සනත් කුමාර නම් බ්‍රහ්මයා විසින්ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.´´

´´යම් ජනයෝ, ´´මම ගෞතම වෙමි´´, ´´මම කාශ්‍යප වෙමි´´,යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත්ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂෙත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත්ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

´´වාසෙට්ඨය, මමද මෙසේ කියමි. ´´යම් ජනයෝ, ´´මම ගෝතම වෙමි. මම කාශ්‍යප වෙමැ´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත්ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂෙත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත්ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමණේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ වූවාහුය.´´

(විසි හත් වැනිවූ අග්ගඤ්ඤ සූත්‍රය නිමියේය.)

Advertisements

2 Comments

  1. nilu

    අන්තර් ජාලයෙන් හරි දර්මය කියවන්න ලැබීම වාසනාවක් !!

  2. හේ. මු. පිප්පලි මයුර බුණ්ඩාර

    මේ මිහිරි වූ සද්ධර්මය කොතරම් ප්‍රිය ද! සියලු ස්ත්ත්වයෝ ධම්රස විඳින්නෝ වෙත්වා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: