26. චක්කවත්ති සීහනාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාශය දේශනා කළහ.

2. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්‍ෂාස්ථාන කොට තමන් පිහිට කොට ධර්මය ආරක්‍ෂාස්ථානය කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්.

´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, වේදනාවන්හි වේදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව කෙලෙස් තවන වීර්යය ඇතිවයහපත් නුවණින් යුක්තව, සිහි ඇතුව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ.

3. ´´මහණෙනි, පෙර ධාර්මිකවූ ධර්මරාජන්වූ, මහාද්වීප සතරට අධිපතිවූ, දිනන ගති ඇති ජනපදයෙහි ස්ථිරභාවයට පැමිණියාවූ රත්න හතකින් යුක්තවූ ´´දළ්හනෙමී´´ නම් චක්‍රවර්ති රජෙක් විය. ඔහුට මේ රත්න හත වූහ. කවරහුදයත් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය, සත්වැනිවූ පරිණායක රත්නයද යන මොවුහුයි.ඒ රජුට ශරවූ, දිව්‍ය පත්‍රයන්ට සමාන ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් වැඩි පුත්‍රයෝ වූහ. හෙතෙම සාගරය අවසාන කොට ඇති මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව ධර්මයෙන් සමගියෙන් දිනා වාසය කළේය. මහණෙනි, එවිට ´´දළ්හනෙමී´´ රජතෙමේ බොහෝ අවුරුදු දහසක්ඉක්මීමෙන් පසු එක්තරා පුරුෂයෙකුට කථාකළේය. කථාකොට ´´පින්වත් පුරුෂය, නුඹ දිව්‍ය චක්‍රරත්නය තුබුනු තැනින් මදක් හෝ මුළුමනින් හෝ යම් දිනෙක ඉවත් වුවොත් මට දන්වව´´යි කීයේය. මහණෙනි, ඒ පුරුෂ තෙමේ බොහෝ අවුරුදු දහස්ගණනක් ඉක්මවීමෙන් පසු දිව්‍ය චක්‍රරත්නය තුබුනු තැනින් ස්වල්පයක් ඉවත්වූ බව දුටුවේය. දැක දළ්හනේම් රජු කරා ගොස්ඒ බව කීවේය.

´´මහණෙනි, ඉක්බිති දළ්හනෙමී රජ තෙමේ වැඩිමහල් පුත්‍රයා මනාකොට රාජ්‍යයෙහි පිහිටුවා, කෙස් රැවුල් කප්පවා කසා වස්ත්‍ර හැඳ ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. ´´මහණෙනි, රාජ ඎෂිවරයා මහණවී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය.

´´රජතෙමේ රාජඎෂි (තාපසයා) වෙත ගොස් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගිය බව දැන්නුවේය. ඒ රාජ ඎෂි තෙමේ පුත්‍රවූ ක්‍ෂත්‍රිය රජුට මේ කාරණය කීයේය.

4. ´´පුත්‍රය, නුඹ දිව්‍ය චක්‍රරත්නය නොපෙනී යාම ගැන ශෝක නොකරව. පුත්‍රය, මේ දිව්‍ය චක්‍රරත්නය පියාගෙන් ලත් දායාදයක් නොවේ. පුත්‍රය, නුඹ දොස් නැති සක්විති වත් සම්පූර්ණ කරව.´´

´´දේවයන් වහන්ස, ඒ නිවැරදි සක්විති වත් කවරේද?´´

(1). ´´පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්‍ෂා පිළියෙල කරව.´´

(2). ´´බලසෙනගද, ධාර්මික ක්‍ෂත්‍රියයන්ද, බ්‍රාහ්මණ ගෘහපතීන්ද, සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්‍ෂා පිළියෙල කරව.´´

(3). ´´නිගම ජනපද වාසීන්ද, මහණ බමුණන්ද, සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්‍ෂා කරව.´´

(4). සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.´´

(5). සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.´´

(6). ´´පුත්‍රය, සිය රටෙහි රාගාදිය දමනය කළ, සමනය කළ, විනාශ කළ යම් මහණ බමුණෙක් වෙත්ද, ඔවුන් කරා කලින් කල පැමිණ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුය. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුය. පුත්‍රය, නිවැරදි සක්විති වත් මේවායි´´ කීය.

5. ´´මහණෙනි, ඔටුණු පැළඳි ඒ ක්‍ෂත්‍රිය රජ තෙමේ, ´´එසේය, දේවයන් වහන්සැ´´යි පිය රාජ ඎෂීන් කී පරිදි පිළිගෙන නිවැරදි සක්විති වත් පිරුයේය. එවිට දිව්‍ය චක්‍රරත්නය පහළවිය.´´

´´මහණෙනි, අනතුරුව සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ සමග ඒ චක්‍රරත්නය පූර්ව දිශාවට ගමන් කළේය. මහණෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේද, සක්විති රජතෙමේ සිවුරඟ සෙනඟ සමග එහි වාසය කළේය.´´

´´මහණෙනි, පූර්ව දිශාවෙහි යම් විරුද්ධ රජ දරුවෝ වෙත්ද, ඔවුහු සක්විති රජ කරා පැමිණ මෙසේ කීවාහුය.´´

´´මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි´´ කීය. සක්විති රජතෙමේ මෙසේ අවවාද කෙළේය.

´´ප්‍රාණවධ නොකට යුතුයි. හොරකම් නොකට යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්´´ යනුවෙනි.

´´අනික් දිශාවන්හිද යම් ඒ රජදරුවෝ වෙත්ද, ඒ සියල්ලෝම සක්විති රජ අනුව යන්නෝ වූහ.´´

6. ´´මහණෙනි, එවිට ඒ චක්‍රරත්නය සමුද්‍රය කෙළවර කොට ඇති මුළු පොළොව දිනා ඒ රාජධානියටම පෙරළා අවුත් සක්විති රජුගේ ඇතුල් වාසල අලංකාර කරමින් සිටියේය. මහණෙනි, දෙවෙනි තුන්වෙනි ආදී සක්විති රජචරු සත්වෙනි සක්විති රජතෙමේ දක්වා පළමුවෙනි සක්විති රජ මෙන් තෙමේද බොහෝ වර්ෂ දහසක්හුගේ ඇවෑමෙන් වැඩිමහල් කුමාරයා මනාකොට රාජ්‍යැයහි පිහිටුවා, ගිහිගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. රාජ ඎෂිවරයා පැවිදිවී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය. එකල්හි රාජ ඎෂිවරයා වෙත පැමිණ දොස් නැති සක්විති වත් නොවිචාළේය. හෙතෙමේ තමන්ගේ මතය පරිදි රටට අනුශාසනා කරයි. ඔහුගේ කාලයෙහි රට වැස්සෝ දියුණුවට නොපැමිණෙත්. එවිට රට වැස්සෝ රැස්ව රජු කරා පැමිණ මෙසේ කීවාහුය.

´´නිදොස් සක්විති වත්හි පිහිටි පෙර රජුන්ගේ කාලයෙහි යම්සේද එසේ තමන්ගේ මතය පරිදි රට පාලනය කරන්නාවූ ඔබගේ කාලයෙහි රටවැස්සෝ දියුණුවට නොපැමිණෙත්. අපි ඔබට නිදොස් සක්විති වත් ප්‍රකාශ කරන්නෙමු´´යි කීහ.

7. ´´මහණෙනි, ඉක්බිති ක්‍ෂත්‍රිය රජ තෙමේ නිදොස් සක්විති වත් ඇසුවේය. එසේ අසන ලද්දාවූ ඔවුහු රජුට නිදොස් සක්විති වත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විති වත් අසා දැහැමි ආරක්‍ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේ වුවත් දුප්පතුනට ධනය නුදුන්නේය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත් විය. දිළිඳුකම මහත්වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත් වස්තු හිමියන් විසින් නොදුන් වස්තුව හොර හිතින් ගත්තේය.´´

´´හොරකම් කළේ ජීවත්වීමට ක්‍රමයක් නැති නිසායි´´ හොරා කීවේය.

´´මහණෙනි, එවිට ක්‍ෂත්‍රිය රජතෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේය.´´

´´මහණෙනි, අනෙක් පුරුෂයෙක්ද හොරකම් කර එසේම ධනය ලබා ගත්තේය. යම් කෙනෙක් අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගනිත්ද, ඔවුන්ට රජ තෙමේ ධනය දුන්නේයයි´´ මිනිසුන් විසින් අසන ලදි. ඒ අසා ඔවුන්ට මෙබඳු අදහසක් වීය. ´´අපිද අනුන් අයත් නුදුන් වස්තුව සොරසිතින් ගන්නෙමු නම් ඉතා යහපති´´යි කියාය.

8. ´´මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් අනුන් අයත්, නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය.´´

එවිට රජුට මෙබඳු අදහසක් විය. ´´ඉදින් යම් කෙනෙක් අනුන් අයත්, නුදුන් වස්තුව සොරසිතින් ගන්නේද, ඒ ඒ අයට මම ධනය දෙන්නෙමි. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේය.´´ එවිට රජ තෙමේ රාජපුරුෂයන්ට අණ කළේය. ´´රාජපුරුෂයෙනි, මේ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩිකොට බැඳ, හිස මුඩුකොට, වදබෙර හඬින් වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස් නුවරට දකුණු පැත්තේදී නැවත සොරකම් නොකරන සේ වළකව්, මුල්සිඳිව්, මොහුගේ හිස සිඳිව්´´යයි නියම කෙළේය. රාජපුරුෂයෝ රජුගේ අණ ලෙස කටයුතු කළෝය.

9. ´´මහණෙනි, මෙසේ දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. සොරකම මහත් විය. අවි ආයුධ වැඩී ගියේය. ප්‍රාණාතය වැඩී ගියේය. ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. අසූ දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, සතලිස් දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. ප්‍රාණාතය වැඩුණු කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් හසලිස් දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, විසිදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.බොරුකීම වැඩි ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. ඔවුන්ගේ පුත්‍රයෝ, දසදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. පරදාර සේවනයෙහි යෙදීමෙන් ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ පන්දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ආයුෂයෙන් පිරිහෙනු ලැබූ ඇතැම් කෙනෙක් දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් කෙනෙක් දෙදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මහණෙනි, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් තද ආශාව, ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරුනේය. තද ආශාව ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරී ගිය කල්හි දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.´´

10. ´´මහණෙනි, දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ඨිය අතිශයින් පැතිරී ගියේය. එකල්හි ඒ සත්වයන්ගේ පුත්‍රයෝ පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යාධර්මය, රාගය අතිශයින් පැතිරී ගියේය. ඒ සත්වයන්ගේ පුත්‍රයෝ දෙසියයක් (??දෙසියපණහක්) අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව, යන මේ වරද පස පැතිර ගියේය.´´

´´මේ පස වැඩී ගිය කල්හි දෙසියපණහක් අවුරුදු ආයුෂ ඇති සත්වයන්ගේ පුත්‍රයෝ අවුරුදු සියයක් ආයු ඇත්තාහු වූහ. යම් හේතුවකින් මේ මිනිසුන්ගේ පුත්‍රයෝ අවුරුදු දහයක් ආයුෂ ඇත්තෝ වන්නාහුද, එබඳු කාලයක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි පස් අවුරුදු කුමරිය ස්වාමියෙකුට දීමට සුදුසු කොට සලකන්නාහු. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ගිතෙල්, වෙඞරු, තල තෙල්, මී, සකුරු, ලුණු යන මේ රස නැතිවී යන්නේය. දශ අකුසල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුශලය යන නමවත් ඇති නොවන්නේය.´´

´´ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේය.´´

´´මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටාගෙන විනාශ වන කාලය වන්නේය.´´

11. ´´මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. ´´අපි කිසිවකු නොමරමු, කිසිවෙක් අප නොමරත්වා! අපි තණ ලැහැප්වලට හෝ පඳුරු වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගස්වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගංගා මැද දූපත වලට හෝ කඳුමුදුන් වලට හෝ පැමිණ වනයෙහිවූ අල, මුල් පලවැල කා ජීවත් වන්නෙමු නම් යහපතැයි´´ සිතා ඔවුහු ඒ තණවලින් ගැවසීගත් ස්ථාන ආදියට පැමිණ සතියක් ජීවත් වෙත්. ඔවුහු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන්ද වැඩෙන්නාහ. වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ. ක්‍රමයෙන් ආයුෂ අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.´´

12. ´´මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, මත් මතය, මහළු වීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි.´´

13. ´´එකල මේ දඹදිව අතිශයින් සමෘර්ධ වූයේද, සම්පත්තියෙන් පිරුණේද වන්නේය. ගම්, නියම්ගම්, ජනපධ, රාජධානි එකිනෙක සම්බන්ධව පවතින්නේය.´´

´´මේ දඹදිව උනවනයක්, බටවනයක් මෙන් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැති වන්නේය. කේතුමතී රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාරදහසක් නගරයෝ වහළෙන් වහළට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ.´´

´´මහණෙනි, මිනිසුන් අතර අසුදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කේතුමතී නම් නුවර ධාර්මිකවූ සංඛ නම් චක්‍රවර්තී රජෙක් වන්නේය. ඒ රජතෙමේ දඬුවම නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.´´

´´එකල මෛත්‍රිය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරන්නේය. ඒ බුදුරජානන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂු සංයා පරිහරණය කරන්නේය.´´

14. ´´මහණෙනි, එකල්හි සංඛ නම් රජතෙම මහා පනාද නම් රජහු විසින් නකරවන ලද ගංගා නදියෙහි ගිලී පවත්නා ප්‍රාසාදය මතුකොට ගොඩට නංවා එහි කලක් වැස එය අන්‍යයන්ට හැර දමා මහණ බමුණු, දුගී, මගී යාචක ආදීනට දන්දී මෛත්‍රිය නම් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදිවූ හෙතෙම් ඒ අර්හත් ඵලය තමාම ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේය.´´

15. ´´මහණෙනි, තමාම ආරක්‍ෂාස්ථාන කොට තමාම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්. ධර්මයම ආරක්‍ෂාස්ථාන කොට ධර්මයම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්.´´

´´මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත්, මානසික දුකත් දුරලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මෙහි යෙදී වාසය කරයි.´´

´´මහණෙනි, (බුදුරජානන් වහන්සේ) නැමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරේව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නාවූ ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සුවයෙන්ද, සම්පත්තියෙන්ද, බලයෙන්ද වැඩෙන්නාහුය.´´

16. ´´මහණෙනි, භික්‍ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. විමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තව ඎද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඎද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්‍ෂුවගේ ආයුෂයට කාරණයයි.´´

17. ´´මහණෙනි, භික්‍ෂුවගේ වර්ණයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සිල්වත්වූයේ වෙයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර සිලයෙන් යුක්ත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍රා වරදෙහිද භය දක්නාසුළු වූයේ වාසය කරයි.ශික්‍ෂාපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්‍ෂුවගේ වර්ණයට කාරණයයි.´´

18. ´´මහණෙනි, භික්‍ෂුවගේ සැපයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සංසිඳවීමෙන් ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන යන ධ්‍යාන වලට පැමිණ වාසය කරයි. මහණෙනි. මේ භික්‍ෂුවගේ සැපයට කාරණයයි.´´

19. ´´මහණෙනි, භික්‍ෂුවගේ සම්පතට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ මෛත්‍රි සහගත සිතින් සියලු තැන, සියලු ලෝකය මහත්වූ, අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රෝධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින්ද, මුදිතා සහගත සිතින්ද, උපේක්ඛා සහගත සිතින්ද සියලු තැන සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි. මේ භික්‍ෂුවගේ සම්පතට කාරණයයි.´´

20. ´´මහණෙනි, භික්‍ෂුවගේ බලයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත කිරීමෙන් අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්‍ෂුවගේ බලයට කරණයයි.´´

´´මහණෙනි, මාර බලය තරම් මැඩපැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඩපැවැතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඩේ.´´

බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කල සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු වූහ.

(විසිහය වැනිවූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේය)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: