21.සක්කපඤ්හ සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී .එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිරදිශාවෙහි අම්බසන්ඩ නම් බමුණූ ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහි වෙදික නම් පර්වතය සමීපයෙහි වූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළාහුය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණීස උනන්දුවක් ඇතිවිය.

2. සක් දෙවිඳු තවුතිසා වැසි දෙවියන්ට කථා කලේය.

´´නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිරදිශාවෙහි ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ දැකගැනීම පිණිස යන්නෙමු නම් යහපත නොවේදැයි´´ ඇසුවේය. ´´පින්වතුන් වහන්ස, එසේ වේවායි´´ තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.

එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, වේදික නම් පර්වතයෙහි පහළ විය.

3. එකල්හි වේදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත් විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේ කීහ. ´´වේදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වේදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසාදැයි´´ සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.

4. එකල සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. ´´දරුව, පංචසිඛය, තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම් පිණිස යන්නෙමු.´´

5. පංචසිඛ නම් ගාන්ධර්ව පුත්‍රතෙම බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්දසාල ගුහාවට පැමිණ එක පැත්තක සිටියේය. පංචසිඛ ගන්ධර්ව පුත්‍රතෙම වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කම ගුණ සහිතවූද ගාථාවන් කීයේය.

6. මෙසේ කී කල්හි භාගුවතුන් වහන්සේ පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට මෙසේ ප්‍රකාශ කළෝය. ´´පංචසිඛය, තාගේ වීණා තත් හඞ ගී හඞ සමගද, ගී හඞ වීණා හඞ සමගද ගැළපේමය.´´

7. එවිට සක්දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථාකළේය.

´´මාගේ දරුවූ පංචසිඛය, තෝ භාග්‍යවතුන් වහන්සේට වඳුව.´´

´´පින්වතුන් වහන්ස, එසේය´´යි පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා සක්දෙවිඳුගේ වචනය සතුටින් අසා භාග්‍යවතුන් වහන්සේට වැන්දේය. ´´ස්වාමීනි, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියාය.

´´පංචසිඛය, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු සැප ඇත්තෙක් වේවා.´´

´´දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද මෙයින් අන්‍යවූ බොහෝ සත්ව සමූහයෝද වෙත් නම් ඔවුහුද සැප කැමැත්තෝමය´´යි කීවෝය.

8. මෙසේ ආශිංසනය ලත් සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ඉන්දසාල ගුහාවට ඇතුල්වී භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක සිටියේය. තව්තිසා වැසි දෙවියෝද පංචසිඛ ගන්ධර්ව පුත්‍රයාද භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එකපැත්තක සිටියාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට මෙසේ කීහ. ´´ආයුෂ්මත් සක්දෙවිඳු පිළිබඳවූ මෙය පුදුමය. (කුමක්ද යත්) එපමණ බොහෝ කෘත්‍ය ඇත්තාවූ බොහෝ කටයුතු ඇත්තාවූ තොපගේ යම්බඳු මෙහි පැමිණීමක් වීනම් එයයි.´´

9. ´´ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නට කැමැත්තෙමි. එසේද වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ මේ යම් කළයුතු වැඩවල යෙදුනෙමි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එන්ට නොහැකි වූයෙමි. ස්වාමීනි, මෙහි එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සල්ලාගාරයෙහි වසනසේක. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියෙමි.´´

10. ´´ස්වාමීනි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියකින් යුක්තව උන්හ. ´´භුංජති´´ නම්වූ වෙසමුණි රජුගේ බිසව දොහොත් මුදුන් තබා වඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස පැමිණ සිටියාය. ස්වාමීනි, මම එවිට භුංජති නම් පරිබ්‍රාජිකාවට මෙය කීවෙමි. ´´මාගේ නැගෙණියෙනි, තී භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියායි.

´´මෙසේ කී කල්හි භුංජති මට මෙය කීවාය. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කාලය සුදුසු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්තියෙන් යුක්තය´´ යනුය.

´´නැගෙණිය, එහෙනම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටිසේක්ද, එකල්හි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමැතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය´´ කියායි.

´´ස්වාමීනි, මාගේ නැගෙණියවූ ඈ කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ වැන්දේද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහිකරන සේක්දැයි?´´ ඇසුවේය.

´´ශක්‍ර දේවේන්ද්‍රය, ඒ නැගෙණිය මා වැන්දාය. තවද මම ඇගේ වචනය සිහිකරමි. තවද මම යුෂ්මතාගේ රථයේ රෝද ශබ්දයෙන් ඒ සමාධියෙන් නැගිටියෙමි´´යි කීහ.

11. ´´ස්වාමීනි, යම් ඒ දෙවියෝ අපට වඩා පළමුව තව්තිසා භවනයෙහි උපන්නාහුද, මා විසින් ඔවුන්ගේ සමීපයෙන් අසන ලදි. පිළිගන්නා ලදි. යම් කලෙක ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතවරයෝ උපදිත්ද, එකල්හි දිව්‍ය නිකායවල් (දිව්‍ය කොටස්) සම්පූර්ණ වෙත්. අසුර නිකායෝ පිරිහෙත්, යනුයි. ඒ මේ කාරණය මා විසින් සාක්‍ෂි වශයෙන් දක්නා ලදි. කෙසේද?´´

´´ස්වාමීනි, මේ කපිලවස්තු පුරයෙහිම බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදුනාවූද, සීලයෙන් සම්පූර්ණ කරන්නාවූද ගොපික නම් ශාක්‍ය දුවක් වූවාය. ඈ ස්ත්‍රීභාවය පිළිබඳ සිත පහකොට පුරුෂ භාවය සම්බන්ධ සිත වඩා මරණින් මතු ශෝභන ගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ ලෝකයෙහි (දෙව් ලොව) උපන්නීය. අපගේ පුත්‍ර බවට පැමිණි තව්තිසා වැසි දෙවියන් සහ එක්වීමට පැමිණියාය. එහිදීද, ඔහු ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්. ස්වාමීනි, වෙනත් භික්‍ෂූන් තුන් නමක්ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව කොටසක උපන්නාහුය. ඔවුහු පස්කම් සැප විඳින්නාහු, එයින් යුක්ත වූවාහුය, එහි ඉන්ද්‍රියයන් හසුරවන්නාහු අපගේ උපස්ථානයට පැමිණෙත්. ඔවුන්ට ගොපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය. ´´නිදුකාණෙනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවාහුද? ´´මම වනාහි ස්ත්‍රියක්වම බුදුන් දහම් සඟුන් කෙරෙහි පැහැදී ශීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රීභාවය සම්බන්ධවූ සිත දුරුකොට පිරිමි බව ගැන සිත වඩා මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දෙව්ලොව ඉපදී සක්දෙවිඳුගේ පුත් බවට පැමිණ තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමට පැමිණියෙමි. මෙහිද මා ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්.´´

´´නිදුකාණෙනි, තොපි වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාහුය. ඒකාන්තයෙන් දැකීමට නුසුදුසු ආකාරයට දුටුවෙමු. අපි යම් බඳුවූ පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාවූ සහ ළාර්මිකයන් (එකට හැසිරුණු අය) දුටුවෙමූ නම් එයයි´´ ස්වාමීනි, ගොපක දිව්‍ය පුත්‍රයා විසින් සිහි කරවන ලදදාවූ ඔවුන්ගෙන් දෙවිවරු දෙදෙනෙක් මේ ආත්මයේදීම (ධ්‍යානයෙන් යුත්) සිහිය හා බ්‍රහ්ම පුරොහිත ශරීර ලැබූහ. එක් දෙවි කෙනෙක් ඒ කාමයන්හි ගැලී විසුවේය.´´

12. ´´මම පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේගේ උපාසිකාවක් වීමි. මට ගොපික යන නමක් විය. බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද විශේෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංයාට උපස්ථාන කළෙමි.´´

´´දිව්‍ය ලොකයෙහි උපන්නාවූ මම ශක්‍රයාගේ පුත්‍රයෙක් වීමි. මෙහිදී මා ගොපක දිව්‍ය පුත්‍රයායයිද (නමින්) දැන ගනිත්´´

´´එකල්හි මම ගන්ධර්ව නිකායට වාසය පිණිස ආවාවූ පෙර දක්නා ලද්දාවූ භික්‍ෂූන් දුටුවෙමි. පෙර මනුෂ්‍යවූ ගෞතම ශ්‍රාවකවූ, අපි යම්බඳුවූ ආහාරයෙන් ඒ භික්‍ෂූන්ට පය සේදීම් ආදියෙන් සංග්‍රහ කොට ආහාරයේන් හා පානවලින්ද උපස්ථාන කළෙමුද, මේ පින්වත්හු කවර නම් කරුණකින් බුද්ධ ධර්මය නොපිළිගත්දාහුද?´´

´´ධර්මය වනාහි තමාගේ දැකීමෙන්ම දතයුත්තේ වේ. මමද තෙපිද බුදුන් (උපාසනය) අශ්‍රය කරන්නෝ වීමු.´´

´´තෙපි ගන්ධර්ව නිකායට පැමිණියාහු දෙවියන්ගේ දාසබවට පැමිණියහුය, ගිහිගයිම් විසුවාවූ මාගේ මේ වෙනස බලව්.´´

´´ඒ මම ස්ත්‍රියන්වී අද දිව්‍ය කාමයන්ගෙන් යුක්තවූ දිව්‍ය පුරුෂයෙක් වෙමි.´´

13. ´´ඔවුන්ගෙන් දෙදෙනෙක් වීර්යය කිරීමට පටන් ගත්තාහුය. ගෞතමයන් වහන්සේගේ අනුශානයෙන් සිහිකරන්නෝ වූහ. ඔවුහු මෙහිදීම සිත් නොඅලවා පංචකාමයන්ගේ දොස් දැක්කාහුය. පාපීවූ මාරයාගේ යෙදුම්වූ දුකසේ පහ කළ යුත්තාවූ කාම සංයෝජනයන් හා කාම බැඳුම් සිඳසැමීම වශයෙන් දැක්කාහුය.´´

´´හීන නිකායකට පැමිණි ඒ මොවුහු තව්තිසා වැසි දෙවියන් ඉක්මවතියයි හටගත් සංවේග ඇති ශක්‍රයාගේ වචනය අසා ගොපක දිව්‍ය පුත්‍රයා ශක්‍රයාට (මෙසේ) කීයේය.´´

´´දේවේන්ද්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි බුදු කෙනෙකු ඇත. මොවුහු උන්වහන්සේගේ පුත්‍රයෝ වෙත්. (ධ්‍යානගත) සිහියෙන් වෙන්ව චුතවූ ඔවුහු මා විසින් නැවතත් සිහිය උපදවනු ලැබූහ.´´

´´ඔවුන් අතුරින් ගන්ධර්ව නිකායට පැමිණි එක්කෙනෙක් මෙහි වාසයට පත්විය. (කෙලෙස්) වසඟ කළාවූ අනාගාමී මාර්ගයට අනුවවූ සමාධි ගත සිත් ඇති දෙදෙනෙක්ම දෙවියන් යටත් කෙරෙත්.´´

´´මෙහි ඔබ වනහ්සේගේ යම් ධර්මයක් දැන, ඔවුන් අතුරින් විශේෂයකට පැමිණි ඒ දෙදෙනෙක් පුරෝහිත බඹලොවට පැමිණි මාර්ග ඵල විශේෂයක් අවබෝධ කළාහුද, නිදුකණන් වහන්ස, ඒ ධර්මයට පැමිණීම පිණිස ආවෙමු. නිදුකණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දෙන ලද්දාවූ අපි ප්‍රශ්න අසන්නෙමුයි´´ කීය.

14. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙ අදහස විය. ´´මේ ශක්‍රයා බොහෝ කලක් මුලුල්ලේම පිරිසිදුය. යම් කිසි ප්‍රශ්නයක් මගෙන් අසන්නේද, ඒ සියල්ල වැඩ ඇතිවම අසන්නෙමි. වැඩකට නැතිව නොඅසන්නේය. මගෙන් ඇසූ යමක් මම පහදා දෙන්නෙම්ද, එය වහාම දැනගන්නේය´´ කියාය.

නැවත භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට මෙසේ වදාළහ.

´´ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසව. තට යම් කිසිවක් කැමති නම්, තාගේ ඒ ඒ ප්‍රශ්න මම කෙළවර කරමියි´´ කියාය.

(පළමුවෙනි බණවර නිමියේය)

15. ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔවුහුද ක්‍රොධ නැත්තාහු, අඬුවම් නැත්තාහු, සතුරන් නැත්තාහු, සතුටු සිත් ඇත්තාහු, ´´අපි අවෛරීව වසන්නෙමු´´ යි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේද, ඒ ඇති කල්හිත් ඔවුහු ක්‍රෝධ සහිත වූවාහු දඬුවම් සහිත වූවාහු, සතුරන් සහිත වූවාහු, සිත් අසතුටු සහිත වූවාහු, වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීම නිසාද?´´

භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙය ප්‍රකාශ කළෝය. ´´දේවේන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් හැඟවීම) යන බැඳුම්වලින් බැඳීම හේතුකොට ගෙනය´´.

´´භාග්‍යවතුන් වහන්ස, එය එසේය. මාගේ සැකය දුරින්ම දුරුවිය.´´

16. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. ´´නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැඟවීම යන දෙක කුමක් මුල්කොට කුමක් හේතුකොට කුමක් ඇති කල්හි කුමක් ජාතිකොට කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේද?´´ කීය.

´´දේවේන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක, ප්‍රියවූ දේද, අප්‍රියවූ දේද, මූලකාරණාකොට හේතුව කොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරුබව වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරුබව නොවේයයි´´ කීවෝය.

17. ´´නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය යන දෙක වනාහි කුමක් නිදානකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේද?´´ ඇසීය.

´´දේවේන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආශාව මූල්කොට හේතුකොට ජාතිකොට ඉපදීම කොට ඇත්තේය. ආශාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේයයි´´ කීවෝය.

18. ´´නිදුකාණන් වහන්ස, ආශාව වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආශාව වේද? කුමක් නැති කල්හි ආශාව නොවේද?´´ ඇසීය.

´´දේවේන්ද්‍රය, ආශාව වනාහි හිතින් පරීක්‍ෂාකර බැලීම මූල්කොට, හේතුකොට ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්‍ෂාකර බැලීම ඇති කල්හි ආශාව වේ. හිතින් පරීක්‍ෂාකර බැලීම නැති කල්හි ආශාව නොවේයයි´´ කීවෝය.

19. ´´නිදුකාණන් වහන්ස, හිතින් පරීක්‍ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට කුමක් හේතුකොට, කුමක් ජාතිකොට, කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේද? කුමක් නැති කල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම නොවේද?´´ ඇසීය.

´´දේවේන්ද්‍රය, හිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මූල්කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට, ඉපදීම කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇතිකල්හි හිතින් පරීක්‍ෂාකර බැලීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්‍ෂා කිරීම නොවේයයි´´ කීවෝය.

20. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදිනනාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදූණ හැඟීම දුරුකිරීමට සුදුසුවූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ´´යි ඇසුවේය.

´´දේවේන්ද්‍රය, මම සැප වේදනාවද දුක්වේදනාව දුක සැප දෙකම මැදහත් විඳීමද යම් සැප වේදනාවක් මෙසේ දන්නේද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නාවූ මට අකුසල ධර්මයෝ වැඩෙත්ද කුශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ සැප වේදනාව සේවනය නොකට යුතුයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද? කෙසේද, මේ සැප වේදනාව සේවනය කරන්නාවූ මගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සැප වේදනාව සේවනය කටයුතුයි. එහි යම් සැප වේදනාවක් විතර්ක රහිත විචාර රහිත සැප වේදනාව අතිශයින් උතුම්ය.´´

´´යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම වැඩෙත්, කුශල ධර්ම පිරිහෙත්යයි දන්නේද ඒ දොම්නස සේවනය නොකළ යුතුයි. යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම පිරිහෙත්, කුශල ධර්ම වැඩෙත්යයි දන්නේද ඒ දොම්නස් වේදනාව සේවනය කළ යුතුයි. එහි විතර්ක විචාර සහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රණීතතරය.´´

´´යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නාවූ මට කුශල ධර්මයෝ පිරිහෙත්, අකුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය නොකළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් සේවනය කරන්නාවූ මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපේක්‍ෂාව සේවනය කළ යුතුයි. එහි යම් උපේක්‍ෂාවක් විතර්ක සහිතද, විචාර සහිතද, යම් උපේක්‍ෂාවක් විතර්ක රහිතද, විචාර රහිතද ඒ අවිතර්ක අවිචාර උපේක්‍ෂාව අතිශයින් ප්‍රණීතය. දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව සමග යෙදුණ හැඟීම සංසිඳවීමම සුදුසු මාර්ගයයි කියන ලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේ´´යයි ප්‍රකාශ කළෝය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍ර දේවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

21. මෙසේ මෙහිදී ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙම සීල සංවරය පිණිස පිළිපදින්නේ වේද?´´

´´දේවේන්ද්‍රය, මම කයේ පැවැත්මද, වචනයේ පැවැත්මද, සෙවීමද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි.´´

´´යම් ශරීරයේ පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මට අකුසල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්යයි දන්නේද, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය නොකටයුතුයි. එහි යම් කායික පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේද, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය කටයුතුයි.´´

´´යම් වචනයේ පැවැත්මක් මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මට අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය නොකටයුතුයි. මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කටයුතුයි.´´

´´මේ පය්‍රේ‍යසනය (සෙවීම) සේවනය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි යම් සෙවීමක් මෙසේ දන්නේද, මෙබඳුවූ පය්‍රේ‍යසනය සේවනය නොකටයුතුයි. එහි මේ පය්‍රේ‍යසනය සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්යයි යම් මේ පය්‍රේ‍යසනයක් මෙසේ දන්නේද, මෙබඳුවූ පය්‍රේ‍යසනය සේවනය කටයුතුයි. දේවේන්ද්‍රය, මම පය්‍රේ‍යසනයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදි.´´

´´දේවේන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ප්‍රාතිමොක්‍ෂසංවරය පිණිස පිළිපදින්නේය´´යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය.

22. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ කෙසේද? ´´නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නේ වේදැයි´´ කියායි.

´´දේවේන්ද්‍රය, මම ඇසින් බලා දතයුතුවූ රූපයද, කණින් අසා දතයුතුවූ ශබ්දයද, නාසයෙන් ගඳ සුවඳ විඳ දතයුතුවූ ගන්ධයද, දිවෙන් රස විඳ දතයුතුවූ රසයද, ශරීරයෙන් ස්පර්ශකොට දතයුතුවූ ස්පර්ශයද, සිතෙන් පරීක්‍ෂාකොට බලා දතයුතුවූ ධර්මයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයයි´´ කීවාහුය.

23. මෙසේ කී කල ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් දනිමි. ස්වාමීන් වහන්ස, යම් බඳුවූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්ද මෙබඳුවූ ඇසට පෙනෙන්නවූ රූපය සේවනය නොකටයුතුයි. ස්වාමීනි, යම් බඳුවූ ඇසට පෙනෙන රූපයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ ඇසට පෙනෙන රූපය සේවනය කටයුතුයි.´´

´´ස්වාමීනි, යම් බඳවූ කණට ඇසෙන ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ විඳ දැනගන්නාවූ ගන්ධයක්, දිවට දැනෙන්නාවූ රසයක්, ශරීරයට දැනෙන්නාවූ ස්පර්ශයක්, සිතින් දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්ද මෙබඳුවූ දැනගන්නාවූ ධර්ම තෙමේ සේවනය නොකටයුතුයි. ස්වාමීන් වහන්ස, යම් බඳුවූ දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ දැනගන්නාවූ ධර්මයෝ සේවනය කටයුතුයි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථ විස්තරයෙන් දන්නාවූ මා විසින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා සැකය දුරු කරන ලදි.´´

24. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය.

´´සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාන වාද ඇත්තාහුද, සමාන ඡන්ද ඇත්තාහුද, සමාන කෙළවර ඇත්තාහුද?´´

´´දේවේන්ද්‍රය, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ඡන්ද ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද නොවෙත්මයයි´´ කීවාහුය.

´´නිදුකාණන් වහන්ස, කවර හෙයකින් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ඡන්ද ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද නොවෙද්ද?´´

´´දේවේන්ද්‍රය, ලෝක සත්ව තෙමේ අනේක අදහස් නොයෙක් අදහස් ඇත්තේමය. ලෝකයේ සත්වයෝ යම් යම් අදහස් ගනිත්ද, ඒ ඒ අදහස්ම දැඩිසේ ගෙන යහපත් ලෙස ගෙන මේ අපගේ වචනයම සත්‍යයි අන්‍යයන්ගේ වචනය වරදයයි කියත්. එහෙයින් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ලබ්ධි ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද නොවෙත් යයි´´ කීවෝය.

25. ´´නිදුකාණන් වහන්ස, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම විනාශය කෙළවර කිරීමක් ඇත්තෝද, විනාශය ඉක්මවන්නාවූ සසර බැඳීම් සිඳින්නාවූ නිර්වාණය ඇත්තෝද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම ඇත්තෝද, නිත්‍යවූ අවසානයක් ඇත්තෝද?´´

´´දේවේන්ද්‍රය,සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එසේ ඇත්තෝද නොවෙත්යයි´´ කීවාහුය.

´´නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යොගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ නොවෙත්ද?´´

´´දේවේන්ද්‍රය, යම් ඒ මහණ බමුණෝ තණ්හාව ක්‍ෂය කිරීමෙන් මිදුනාහු වෙත්ද, අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත යොගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ වෙත්´´

´´එහෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත ඉක්මවූ නිෂ්ඨා ඇත්තෝ, අත්‍යන්ත ඉක්මවූ යොගක්‍ෂෙම නම් නිර්වාණය ඇත්තෝ, අත්‍යන්ත ඉක්මවූ බඹසර ඇත්තෝ, අත්‍යන්ත ඉක්මවූ කෙළවර ඇත්තෝ නොවෙත්යයි´´ කීවාහුය.

26. මෙසේ මෙහි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, තණ්හාව රෝගයකි. තණ්හාව ගඩයකි. තණ්හාව උලකි. තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයාගේ ඉපදීම පිණිස අදින්නේය. එහෙයින් මේ පුරුෂයා උස් පහත් බවට පැමිණේ.´´

27. ´´ස්වාමීන් වහන්ස, යම්බඳුවූ ප්‍රශ්නයන් සම්බන්ධව මෙයින් පිට අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් මම අවකාශ මාත්‍රයකුදු නොලද්දෙම්ද, බොහෝ කලක සිට පැවැත්තාවූ ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මට ප්‍රකාශ කරන ලද්දාහ. මාගේ යම්බඳුවූ විචිකිච්ඡා සංඛ්‍යාත කෙසේදැයි පැවති හුලක් වූයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් එයද උදුරන ලද්දේයයි´´ දැන්නුවේය.

´´දේවේන්ද්‍රය, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවෙහිදැයි ඔබ දන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවේදැයි ඔබ දන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවෙමියි, මම දනිමි.´´

´´දේවේන්ද්‍රය, කෙසේ නම් ඔවුහු ප්‍රකාශ කලාහුදැයි, ඉදින් තොපට බරක් නොවෙ නම් කියවයි´´ කීවාහුය.

´´ස්වාමීන් වහන්ස, යම් මහණ බමුණන් වනවාසීහුයයි කියා හෝ ප්‍රාන්ත සේනාසන ඇත්තෝයයි කියා හෝ හඟිම්ද, මම ඔවුන් වෙත පැමිණ මේ ප්‍රශ්නයන් ඇසූයෙමි. මා විසින් අසන ලද්දාවූ ඔවුහු නොදනිත්, නොදන්නාවූ ඔවුහු මගෙන්ම ආපසු අසත්. ´´ආයුෂ්මත් තෙමේ කවර නම් ඇත්තේදැයි´´ අසන ලද මම ඔවුන්ට ´´නිදුකාණෙනි, මම ශක්‍ර දේවේන්ද්‍රයයි´´ ප්‍රකාශ කරමි. ඔවුහු ´´ආයුෂ්මත් දේවේන්ද්‍ර තෙමේ කවර කර්මයක් කොට මේ ස්ථානයට පැමිණියේදැයි´´ මත්තෙහිත් අසත්. ඔවුන්ට මම අසන ලද පරිදි ඉගෙන ගන්නා ලද පරිදි ධර්මය දෙසමි. ඔවුහු එපමණකින්ම සතුටු සිත් ඇත්තෝ වෙත්. ´´ස්වාමීන් වහන්ස, මම වනාහි සෝවාන්වූ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියතවූ රහත් බව පිහිටකොට ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකයෙක්මි´´ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ලබන ලද්දාවූ ඒ දඬුවම් රහිතවූ ආයුධ රහිතවූ ප්‍රීති ප්‍රතිලාභය සොම්නස් ප්‍රතිලාභය ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, රාගය නැති කිරීම පිණිස, නිරෝධය පිණිස කෙලෙස් නැති කිරීම පිණිස, විශේෂ අවබෝධය පිණිස, සම්බෝධිය පිණිස පවතීයයි´´ ප්‍රකාශ කළේය.

28. ´´දේවේන්ද්‍රය, ඔබ කිනම් කරණයක් අර්ථ වශයෙන් දක්නේ මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් විඳින්නේදැයි´´ ඇසුවෝය.

´´ස්වාමීන් වහන්ස, මම කරණා හයක්ම අර්ථ වශයෙන් දක්නේයයි ප්‍රකාශ කළේය.

(1). මේ ස්ථානයෙහි සිටගෙනම මා විසින් නැවත ජීවිතයද ලබන ලදි. නිදුකාණන් වහන්ස, මෙසේ දැන වදාල මැනවි.

(2). මම දිව්‍ය ලෝකයෙන් චුතවූයෙමි, සිහි මුළා නොවී මිනිස් ලොව ක්‍ෂත්‍රියාදී කුලයෙහි සිත ඇලේ නම් එහි ගර්භෝත්පත්තියට පැමිණෙන්නෙමි.

(3). ඒ මම මුළා නොවන ප්‍රශ්න ඇත්තේ ශාසනයෙහි ඇලී වාසය කරමින් යහපත් ප්‍රඥා ඇත්තෙමි, සිහි ඇත්තෙමි, නුවණින් වාසය කරමි.

(4). න්‍යාය ක්‍රමයෙන් වාසය හැසිරෙන්නාවූ මට සම්බෝධිය සකෘදාගාමී මාර්ගය වන්නේ නම් දැනගනු කැමතිව වාසය කරන්නෙමි. එය මනුෂ්‍ය ලෝකයෙහි මාගේ කෙළවර වන්නේය.

(5). මම මනුෂ්‍ය ආයුෂ ගෙවා මනුෂ්‍ය ලෝකයෙන් චුතවන්නෙම් නැවත දිව්‍ය ලෝකයෙහි උතුම්වූ දෙවියෙක් වන්නෙමි.

(6). කීර්ති ඇත්තාවූ අතිශයින් ප්‍රණීතවූ අකනිටා බඹලොව වාසීවූ ප්‍රසිද්ධ දෙවියෝ වෙත්ද, අන්තිම භවය පවත්නා කල්හි ඒ නිවාසස්ථානය වන්නේය.´´

´´ස්වාමීන් වහන්ස, මේ කාරණා හය දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.´´

29. ´´නිම නොකරන ලද මනෝරථ ඇත්තේ සැක ඇත්තේ කෙසේ කෙසේදැයි පැවති සැක ඇත්තේ තථාගතයන් වහන්සේ සොයමින් බොහෝ කලක් හැසිරුනෙමි.´´

´´යම් කලෙක්හි මම සැක දුරුකළාවූ බුදුරජානන් වහන්සේ දුටුයෙම්ද, ඒ මම සර්වඥයන් වහන්සේ ආශ්‍රය කොට පහවූ භය ඇත්තෙක් වීමි. තණ්හාව නැමැති හුල නැසුවාවූ සමාන පුද්ගලයෙක් නැති හෙයින් අප්‍රති පුද්ගලවූ සම්බුදුරජානන් වහන්සේ මම වඳිමි. නිදුකාණන් වහන්ස, දෙවියන් සමග බ්‍රහ්මයාට අපි යම් නමස්කාරයක් කළෙමුද, ඒ නමස්කාරය අද නුඹවහන්සේට කරමු. එබැවින් තුමූම නුඹවහන්සේට නමස්කාර කරමු. නුඹවහන්සේ නිරුත්තරවූ ශාසතෲය, දෙවියන් සහිත ලෝකයෙහි නුඹවහන්සේ ප්‍රති පුද්ගලයෙක් නැත්තේය.´´

30. එවිට ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ අතින් පෘථිවිය පිරිමැද තුන් යලක් ප්‍රීති වාක්‍ය කීවේය. කෙසේද? ´´ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා´´ කියායි.

මේ ප්‍රශ්න විසඳීම කරනු ලබන කල්හි ශක්‍ර දේවේන්ද්‍රයාට රාගාදී කෙලෙස් රහිතවූ පහවූ කෙලෙස් මල ඇති ධර්ම ඇස උපන්නේය, කෙසේද? ´´සමුදය ස්වභාවවූ යම් කිසිවක් වේනම් ඒ සියල්ලම නැතිවීම ස්වභාව කොට ඇත්තේය´´ යනුවෙනි. අන්‍යවූ අසූදහසක් දේවතාවන්ටද මෙසේ ධර්ම ඇස උපන්නේය.

(සක්කපඤ්හ සූත්‍රය නිමියේය)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: