12.ලෝහිච්ච සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේභික්‍ෂුන් පන්සියයක් පමණවූ මහා භික්‍ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් වඩිනා කල සාලවතිකා නම් ගමට වැඩිසේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම බොහෝ ධනය සහිතවූ පසේනදි කොසොල් රජු විසින් දෙනලද සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරයි.

2. එකල ලොහිච්ච නම් බ්‍රාහ්මණයාට මෙවැනි ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය. ´මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් කුසල කර්මයකට පැමිණෙන්නේද, කුසල කර්මයට පැමිණ අනුන්ට ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පරණ බැම්මක් කපා වෙන අලුත් බැම්මක් බදින්නේ යම්සේද මෙය එවැනිවූ ලාමක ලොභයෙකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? ´ කියායි.

3. ´´ ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් ගොස් මහණවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම භික්‍ෂුන් පන්සියයක් පමණවූ මහා භික්‍ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරන අතර සාලවතිකා නම් ගමට වැඩියේයයි´´ ලොහිච්ච බ්‍රාහ්මණයාට අසන්ට ලැබුණේය. ඒ භාග්‍යවත් ගෞතමයානන් වහන්සේ ගැන මෙවැනි හිත් සතුටු කරන කීර්ති ඝොෂාවක් පැන නැංගේය. එනම්, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්වූසේක, සම්‍යක් සම්බුධවූසේක, විදර්ශනාඥාන ආදී විද්‍යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගේන් යුක්තවූසේක, යහපත් ගමන් ඇතිසේක, සියලු ලෝකයන් දන්නාසේක. ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කරීමෙහි රියදුරෙකු වැනිසේක. දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් වූසේක. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයේන් දැන අවබොධකොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ, සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙනහැර දක්වතියි´´ කීයේය.

ලොහිච්ච බ්‍රාහ්මණ තෙම මෙය අසා, ´´එවැනි රහතුන්ගේ දැකීම යහපත්වේයයි´´ සිතුවේය.

4.එවිට ලොහිච්ච බ්‍රාහ්මණ තෙම රොසික නම් ඇම්බැට්ටයාට අඞගසා මෙසේ කීවේය. ´´යහලු රොසිකය, ශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, රෝග නැති බව, සැපයෙන් වාසය කිරීම යන කරුණු ලොහිච්ච බ්‍රාහ්මණයා අසන්නේයයි මාගේ වචනයෙන් අසන්න. අසා, හෙට දිනයෙහි ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භෝජනය භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග පිළිගන්නා සේක්වායි´´ද දැනුම් දෙන්න.

5. ´´ස්වාමීනි, එසේයයි´´ කියා රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ලොහිච්ච බ්‍රාහ්මණයා කී පරිදි භෝජනය භික්‍ෂු සංඝයා සමග පිළිගනිවායි, කියාද දැන්නුවේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය පිළිගත්තේය.

ලොහිච්ච බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ විසින් එය පිළිගන්නා ලද්දේයයි කීයේය.

6. එවිට ලොහිච්ච බ්‍රාහ්මණතෙම ඒ රාත්‍රිය පසුවූ කල සිය නිවසෙහි මිහිරිවූ කෑ යුතු දේද, වැළදිය යුතු දේද, පිළියෙළ කරවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට භෝජනය පිළියෙළ කරණ ලද්දේයයි දැන්වීමට නියම කළේය.

එවිට රොසික නම් ඇම්බැට්ටයා භෝජනය සූදානම් කරන ලද්දේය. ඊට කාලයයි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවේය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්‍ෂු සංඝයා සමග සාලවතිකා නම් ගමට පැමිණියෝය.

7. එකල රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගමන් කළේය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරුණ දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයාහට ලාමකවූ මෙවැනි වැරදි මතයක් උපන්නේය. ´´මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුසල ධර්මයට පැමිණෙන්නේද, කුසල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකකුට කුමක් කරන්නේද? පැරණි බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ ලාමකවූ ලොභය එසේමයයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේදැයි´´ කියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයා ලාමකවූ මේ වැරදි මතයෙන් මුදවන සේක්වා.´´

´´රොසිකය, ඉතා යහපත් වන්නේයයි´´ කීසේක.

8. එවිට භාග්‍යවතුන් වහන්සේ ලොහිච්ච බ්‍රාහ්මණයාගේ ගෙදරට පැමිණ, පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම බුදුන් ප්‍රධාන භික්‍ෂු සංඝයා මිහිරි කෑ යුතු වැළදිය යුතු දෙයින් සිය අතින් අනුභව කරවා මනාකොට පැවරුවේය.එවිට වළදා පාත්‍රයෙන් ඉවත් කරණලද අත් ඇතිව හිඳින භාග්‍යවතුන් වහන්සේ දැක එක්තරා පහත් ආසනයක් ගෙන එකපැත්තක උන්නාවූ ලොහිච්ච බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ කීයේය.

´´ලොහිච්චය, මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකට නොකරන්නේය. අනිකෙක් අනිකකුට කුමක් කරන්නේද? පැරණි බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමකවූ ලොභයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේදැයි, යන මෙබඳුවූ ලාමක මතයක් ඔබට උපන්නේ සැබෑද?´´. ´´භවද් ගෞතමයන් වහන්ස, එසේයයි´´ කීයේය.

9. ´´ලොහිච්චය, යමෙක් මෙසේ කියන්නේද, ලොහිච්ච බ්‍රාහ්මණතෙම සාලවතිකා නම් ගම අධිපතිව වාසය කරයි. සාලවතිකා නම් ගම හටගන්නා යම් පමණ වස්තුව වේද එය ලොහිච්ච බ්‍රාහ්මණතෙම තනිවම ප්‍රයොජන ගන්නේය, අනුන්ට නොදෙන්නේයයි. මෙසේ කියන්නාවූ ඔහු, යමෙක් ඒ ලොහිච්ච බ්‍රාහ්මණයා නිසා ජීවත් වෙත්ද ඔවුන්ට ලාභ අන්තරාය කරන්නේ වේ. ලාභ අන්තරාය කරන්නෙක් වූයේ හිත වැඩ නොකැමැත්තේවේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වෙයි. ක්‍රොධ සිත එළඹ සිටි කල මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි.´´

10. ´´ලොහිච්චය, මෙතෙකින් යමෙක් මෙසේ කියන්නේද, පසේනදි කොසොල් රජතෙම කසී කොසොල් දෙරටෙහි අධිපතිව වාසය කරයි. කසී කොසොල් දෙරටෙහි යම් වස්තු උත්පත්තියක් ඇද්ද එය පසේනදි කොසොල් රජතෙම තනිවම ප්‍රයොජන ගන්නේය. අනුන්ට නොදෙන්නේද, කියායි. මෙසේ කියන්නාවූ ඔහු ඔබ හෝ වෙනත් අය හෝ යම් කෙනෙක් ඒ පසේනදි කොසොල් රජු නිසා ජීවත්වෙත්ද, ඔවුන්ට අන්තරාය කරන්නේ වේ. අන්තරාය කරවූයේ එහි වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත පිහිටියේ වෙයි. ක්‍රොධ සිත් ඇත්තහුට මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ.´´

11. ´´ලොහිච්චය, එමෙන්ම යමෙක් මෙසේ කියන්නේද ´මේ ලොකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනෙකෙක් අනෙකෙකුට කුමක් කරන්නේද, පරණ බැම්මක් කපා දමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමක වූ ලෝභයකැයි කියමි´. මෙසේ කියන්නාවූ හෙතෙම යම් ඒ කුලපුත්‍රයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද ධර්ම විනය ඇති ශාසනයට පැමිණ මෙබඳුවූ මහත් විශේෂ අවබෝධයකට පැමිණත්. සෝවාන් ඵලයද සකෘදාගාමී ඵලයද අනාගාමී ඵලයද අර්හත් ඵලයද අවබෝධ කෙරෙත්. යමි කෙනෙක් දෙව් ලොව ඉපදීම සඳහා දෙව්ලොව උපදින කුසල්ද දියුණු කරත්. එබඳුවූ ඔවුන්ට අන්තරායක් කරන්නේවේ. අන්තරාය කරන්නේ හිත වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නෙකැමැත්තෙහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වෙයි. ක්‍රොධ සිත එළඹ සිටියහුට මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ. ලොහිච්වය, මිත්‍යාදෘෂ්ටි ඇත්තා හට නිරය ගතිය හෝ තිරිසන් ගතිය යන දෙයාකාර ගති අතුරින් එක්තරා ගතියක් මම කියමි.´´

12. ලොහිච්වය, මේ ලෝකයෙහි චෝදනා කිරීමට සුදුසු වූ අනුශාසකයෝ තුන්දෙනෙක් ඇත්තාහ. යමෙක් එබඳුවූ ශාස්තෘවරයන්ට චෝදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබෑවක්මය, ධර්මයට එකඟය, නිවරදය, කවර තුන්දෙනෙක්ද? ලොහිච්වය, ලොකයෙහි ඇතැම් අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහිගෙයින් නික්ම අනගාරික (ගිහි ජීවිතයෙන් තොර) ශාසනයට මහණවේද, ඔහු විසින් ඒ ශ්‍රමණ හාවයෙහි ඵලය වන රහත් බව නොලබන ලද්දේවේද, ඔහු ඒ රහත් බවට නෙපැමිණ (ශාවකයන්ට) තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයින්ට ධර්මය දේශනා කරයිද, ඔහුගේ ඒ ගෝලයෝ එය නොඅසත්ද, ඒ ධර්මය ඇසීම සඳහා කන් නොනමත්ද, ඒ ධර්මය දැන ගැනීම පිණිස සිත එළඹ නොපිහිටුවත්ද අනුශාසකයාගේ අනුශාසනයෙන් ඉවත්ව පවතිත්ද, ඔහු චෝදනා කටයුතු වන්නේය.

13. ´´ලොහිච්වය, නැවත අනෙකක් කියමි. මේ ලොකයෙහි සමහර අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහිගෙයින් නික්ම අනගාරික ශාසනයේ මහණවේද ඔහු ඒ ප්‍රයෝජනය වන රහත් බවට නොපැමිණියේ වේද, ඔහු ඒ රහත් බවට නෙපැමිණ, තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයන්ට ධර්ම දේශණා කෙරෙයිද ඒ ගෝලයෝ ඔහුගේ ධර්මය අසත්ද, ඒ ධර්මය ඇසීම පිණිස කන් නමත්ද, ඒ ධර්මය දැනගැනීමට සිත් එළඹ සිටුවත්ද? ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත නොපවතිත්ද, ඔහු චෝදනා කටයුතු වන්නේය.´´

´´සමහර ගුරුවරයෙක් යම් අර්ථඵල ලාභයක් පිණීස ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයේ මහණවූයේ ඔහු ඒ ප්‍රයෝජනය වන රහත්බව පැමිණියේ වේද, ඔහු ඒ රහත් බවට පැමිණ ,´´තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි´´ ගෝලයන්ට ධර්මදේශණා කෙරෙයිද, ඔහුගේ ඒ ගෝලයෝ එය නොඅසත්ද, ඒ ධර්මය ඇසීම සඳහා කන් නොනමත්ද, ඒ ධර්මය දැන ගැනීම පිණිස සිත එළඹ නොපිහිටුවත්ද අනුශාසකයාගේ අනුශාසනයෙන් පිටත පවතිත්ද, ඔහු චෝදනා කටයුතු වන්නේය. අනෙකෙක් අනෙකෙකුට කුමක් කරන්නේද? ලොහිච්වය, ලෝකයෙහි යමෙක් චෝදනා කිරීමට සුදුසුවේද, මේ දක්වන ලද්දේ එසේ චෝදනා කිරීමට සුදුසු වූ තුන්වෙනි අනුශාසකයායි. යමෙක් මෙවැනි ගුරුවරයාට චෝදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබෑවක්මය, ධර්මයට එකඟය, නිවරදය.´´

14. මෙසේ කී කල ලෙහිච්ව බ්‍රහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැනුම් දුන්නේය, ´´භවත් ගෞතමයන් වහන්ස, ලොකයෙහි යමෙක් චෝදනා කිරීමට නුසුදුසු වේද, එවැනි කිසියම් ගුරුවරයෙක් ඇත්තේද?´´

´´ලොහිච්චය, ලොකයෙහි චෝදනා කිරීමට නුසුදුසු ගුරුවරයෙක් ඇත්තේමය.

´´භවත් ගෞතවයන් වහන්ස, ඒ ගුරුවරයා නම් කවුද?

(මෙහි 43 පිටේ 28 වෙනි ජේදයේ සිට 49 වන ජෙදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´ලොහිච්වය´´ යොදන්න.´´මෙහිදීද මේ ආත්මයේ දැක්කයුතු´´ අතහරින්න)

´´ලොහිච්වය, යම් ශාස්තෘවරයෙකු (අනුශාසකයෙකු) නිසා ශාවක තෙමේ (ගෝලයා) මෙවැනි මහත් විශේෂ බවකට පැමිණේද, ලොහිච්චය,ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා කිරීමට නුසුදුසු වන්නේ නම් මේ ශාස්තෘ තෙමේද එසේ චෝදනා කිරීමට නුසුදුසු ශාස්තෘවරයෙකි. යමෙක් එවැනිවූ ශාස්තෘවරයාට චෝදනා කෙරේ නම් ඒ චෝදනාව ඇත්තක් නොවේ, සැබෑ නොවේ, ධර්මයට එකඟ නොවේ, වරදය.´´

15. ´´ලොහිච්වය, යම් ශාස්තෘවරයෙකු නිසා ශ්‍රාවක තෙමේ මෙවැනි මහත් විශේෂ බවකට පැමිණේද, ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා කිරීමට නුසුදුසු වන්නේ නම් මේ ශාස්තෘ තෙමේද එසේ චෝදනා කිරීමට නුසුදුසු ශාස්තෘවරයෙකු. යමෙක් එවැනිවූ ශාස්තෘවරයකුට චෝදනා කෙරේ නම් ඒ චෝදනාව ඇත්තක් නොවේ, සැබෑ නොවේ, ධර්මයට එකඟ නොවේ, වරදය.´´

16. මෙසේ කී කල ලොහිච්වය බ්‍රහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්නුවේය. ´´නරා වළක වැටෙන්නාවූ පුරුෂයෙක් කෙස්වැටියෙන් අල්වාගෙන ගොඩගෙන පොළවෙහි පිහිටුවන්නේ යම්සේද එපරිද්දෙන්ම මිත්‍යාදෘෂ්ටි නමැති නරාවළෙහි වැටෙන්නාවූ මම ධර්ම දේශනාව නමැති අතින් ඉන් ගොඩගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වර්ග මාර්ග තලයෙහි පිහිටුවන ලද්දෙමි. ගෞතමයාණන් වහන්ස, ධර්මදේශනාව යහපති, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. ගෞතම භාග්‍යවතුන් වහන්සේ අද පටන් ජීවිතයේ අග දක්වා සරණ ගිය උපාසකයෙකැයි මා දරාගනිත්වා.´´

(දොළොස්වෙනිවූ ලොහිච්ව සූත්‍රය නිමියේයි)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: