2, සාමඤ්ඤ ඵල සූත්‍රය

2, සාමඤ්ඤ ඵල සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අසල කෝමාර භච්ච ජීවකයන්ගේ අඹ වනෙහි මහා භික්‍ෂු සංඝ යාවූ භික්‍ෂුන් එක් දහස් දෙසිය පනහක් සමග වාසය කළේය. ඒ කාලයේදී විදේහ දේවිගේ පුත්‍රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ සම්පූර්ණ හඳ එළියෙන් බබළන රාත්‍රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට අජාසත් රජ මෙසේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළේය.

´´පින්වත්නි, පිරිසිඳු රාත්‍රිය සැබවින්ම ප්‍රීති ගෙන දෙයි. ලස්සන පෙනුමකි. දැකීමට ප්‍රියය. සිත් සතුටු කරන්නීය. මතක තබා ගැනීමට සුදුසුය. ළඟට ගොස් ආශ්‍රය කිරීමෙන් අපගේ සිත් පහදවා ගැනීමට කුමණ මහණෙකු හෝ බමුණෙකු අද සොයා යන්නෙමුද?´´ . මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් අජාසත් රජුට මෙසේ කීය. ´´දේවයන් වහන්ස, මේ පූර්ණ කාශ්‍යපයන්ට සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තිර්ථක ධර්ම දේශනා කරන්නෙකි. බොහෝ දෙනා විසින් යහපත්යැයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්ස, ඒ පූර්ණ කාශ්‍යප අශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය ´´. මෙසේ කි කල අජාසත් රජ නිශ්ශබ්ද විය.

3. එක්තරා රජ ඇමතියෙක් එසේම මක්ඛලී ගෝසාලයන් ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

4. එක්තරා රජ ඇමතියෙක් අජිත කේසකම්බලයන් ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

5. එක්තරා රජ ඇමතියෙක් පකුධකච්චායන ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

6. එක්තරා රජ ඇමතියෙක් සංජය බෙලට්ඨපුත්ත ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

7. එක්තරා රජ ඇමතියෙක් නිඝ ණ්ඨනාථ පුත්ත ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

8. එකල්හි කෝමාරභච්ච ජීවක නිශ්ශබ්දව අජාසත් රජ සමීපයෙහි උන්නේ විය. එවිට අජාසත් රජ, ´´යහළු ජීවකය, ඔබ කුමක් නිසා නිශ්ශබ්දව සිටින්නාහුදැයි´´ ඇසීය.

´´දේවයන් වහන්ස, මේ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ මහා භික්‍ෂු සංඝ යාවූ එක් දහස් දෙසිය පණහක් පමණ භික්‍ෂුන් වහන්සේ සමග අපගේ අඹ වනයෙහි වාසය කෙරෙත්. ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු ස්තුති ඝෙ ා්ෂාව උස්ව නැංගේය. කෙසේද යත්- ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුදු විය. විජ්ජා චරණ සම්පන්න විය. සුගත විය. ලෝකවිදූ විය. අනුත්තර විය. පුරිසධම්ම සාරථි විය. දෙව් මිනිසුන්ට උගන්වන බැවින් ශාස්තෘ නම් විය. බුද්ධ නම් විය. භගවත් විය. එබැවින් දේවයන් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කෙරෙත්වා. උන් වහන්සේ ආශ්‍රය කරන ඔබ වහන්සේගේ සිත සැකයක් නැතිව පහදින්නේමයයි´´.

´´යහළු ජීවකය, එසේ නම් ඇත් යානාවක් සරසව´´.

9. ඇතින්නියන් පන්සියයක් සහ රජුට නැගීමට ඇතෙකුද සරසවා, ´´දේවයන් වහන්ස, ඇත් යානා පිළියෙල කෙරුවේය. ගමනට කාලයයි සලකන්නේ නම් කැමැත්තක් කල මැනව´´යි රජුට දැනවීය.

එවිට අජාසත් රජ පන්සියයක් ඇතිනි යානයන්හි එක් එක් ස්ත්‍රිය බැගින් නංවා තමන්ට සුදුසු ඇතුපිට නැගී පන්දම් දැල්වූ කල මහත්වූ රාජානුභාවයෙන් යුක්තව රජගහ නුවරින් පිටත්ව කෝමාරභච්ච ජීවකයාගේ අඹ වනයට ගියේය.

10. එකල අජාසත් රජුට අඹ වනයට නුදුරු තැනකදී සිතට ලොකු භයක් ඇතිවිය. තිගැස්සීමක් ඇතිවිය. ලොම් නැගී සිටියේය. එවිට අජාසත් රජ, ´´යහළු ජීවකය, මොකද? මා වංචා කලා නොවේද? නැති දේ ඇතැයි කියා මා රැවටුවා නොවේද? මා සතුරන්ට පාවා දෙනවා නොවේද? එක් දහස් දෙසිය පණහක් පමණවූ මහා භික්‍ෂු සංඝ යාගේ කිවිසුම් ශබ්දයක් හෝ කෑරුම් ශබ්දයක් හෝ කථා ශබ්දයක් හෝ පමණවත් ඇසෙන්නේ නැද්ද?´´ ඇසීය.

´´මහරජ, බිය නොවන්න, මහරජ ඉදිරියට යන්න, වක්‍රාකාර ශාලාවෙහි පහන් දැල්වෙයි´´.

11. එවිට අජාසත් රජ ඇතුපිටින් යන්ට හැකිතාක් දුරට ගොස්, ඇතුපිටින් බැස පයින්ම වක්‍රාකාර ශාලාවේ දොර ලඟට පැමිණියේය. එසේ පැමිණ, ´´යහළු ජීවකය, භාග්‍යවතුන් වහන්සේ කොතනදැයි´´ ජීවකයාගෙන් ඇසුවේය.

´´ඒ භාග්‍යවතුන් වහන්සේ, මැද කණුව සමීපයෙහි නැගෙනහිර දෙස බලා භික්‍ෂු සංඝ යා පිරිවරා වැඩහුන්නේ භාග්‍යවතුන් වහන්සේය´´.

12. එවිට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳින තැනට පැමිණියේය. පැමිණ එක පැත්තකටවී සිටියේය. හැම පැත්තෙන්ම සන්සුන්වූ නිශ්ශබ්දවූ පිරිසිඳු විලක් මෙන් සතුටු ඉන්ද්‍රින් ඇති භික්‍ෂු සංඝ යා නැවත නැවත බලා,´´දැන් මේ භික්‍ෂු සංඝ යා යම් ආකාර සංසිඳීමකින් යුක්තද, මාගේ උදයභද්ද කුමාරයාද ඒ ඉන්ද්‍රිය මැඩ පවත්වා ගැනීමෙන් යුක්ත වේවා´´යි ප්‍රීති වාක්‍යයක් අජාසත් රජ පහළ කළේය.

´´මහරජ, භික්‍ෂු සංඝ යා බලා තොපගේ සිත ප්‍රේමය ඇති තැන කරා ගියා වේද?´´

´´ස්වාමීනි, උදයභද්ද කුමාරයා මට ප්‍රියය, දැන් මේ භික්‍ෂු සංඝ යා යම් ඉන්ද්‍රි මැඩපවත්වා ගැනීමකින් යුක්තද, උදයභද්ද කුමාරුද ඒ ඉන්ද්‍රිය මැඩ පවත්වා ගැනීමෙන් යුක්ත වේවා´´.

13. එවිට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ, භික්‍ෂු සංඝ යාට දෑත් එකතු කොට වැඳ එකත්පස්ව උන්නේය. එසේ උන්නාවූ අජාසත් රජ ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්නේ නම්, කිසියම් ප්‍රශ්නයක් අසමි´´යි කීයේය.

´´මහරජ, තොපට යමක් කැමති නම් එය අසව´´.

14. ´´ස්වාමීනි, ඒ ඒ අයගේ ජීවත්වීමට හේතුවූ බොහෝ ශිල්ප වෙයි. ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්. ස්වාමීනි, එමෙන්ම මේ භාවයෙහි දැක්ක හැකිවූ විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට ඔබට පුළුවන්ද?´´

15. ´´මහරජ, ඔබ මේ ප්‍රශ්නය අන් මහණ බමුණන් ගෙනුත් ඇසූ බව නොදන්නේහිද?´´

´´ස්වාමීනි, මේ ප්‍රශ්නය වෙනත් මහණ බමුණන් ගෙන් මම ඇසූ බව දනිමි´´.

´´මහරජ, ඔවුන් එය කෙසේ විසඳුවාදැයි ඔබට අපහසු නොවේ නම් කියව´´.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ බඳු අන්‍යයෝ හෝ යම් තැනක වෙත්ද, එතුමන් ඉදිරියෙහි කියන්නට අපහසු නොවේ´´.

´´මහරජ, එසේ නම් කියනු මැනව´´.

16. ´´ස්වාමීනි, මම එක් දිනෙක පූර්ණ කාශ්‍යපයන් වෙත පැමිණ මේ ආත්මයෙහි දැක්ක හැකිවූ විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්දැයි´´ ඇසුවෙමි.

17. ´´ස්වාමීනි, පූර්ණ කාශ්‍යපයා මට මෙසේ කීය. සිය අතින් කරන්නාහටද, අණදී කරවන්නාහටද, ශෝක ඇති කරන්නාහටද, අනුන් ලවා ශෝක කරවන්නාහටද, ප්‍රාණ හිංසා, නුදුන් දෙය ගන්නා, පැහැර ගන්නා, පර අඹුවන් කරා යන්නා, බොරු කියන්නා, පවක් කරන්නාහටද පවක් නැත්තේය. දෙමින්, දෙවමින්, යාග කරමින්, කරවමින් ඒ හේතුවෙන්ද පිණක් නැත්තේය. පුණ්‍යාගේ වැඩීමක් නැත්තේය. (දන්) දීමෙන්ද, ඉන්‍ද්‍රි දමනයෙන් හෝ එක් වරුවේ කෑම ගන්නා දිනයෙන්ද, සීල-හික්මීමෙන්ද, සැබෑ කීමෙන්ද, පිණක් නැත්තේය. පුණ්‍යාගේ පැමිණීමක් නැත්තේය´´ යනුයි.

ස්වාමීනි, මෙසේ මා විසින් හොඳින් දුටුවාවූ යහපත් මාර්ග ඵලය අසන කල පූර්ණ කාශ්‍යප නොකිරීම ප්‍රකාශ කළේය. ඒ වචනය සාර වශයෙන් නොගෙන, එය සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි´´.

18. ´´ස්වාමීනි, මම එක් දිනෙක මක්ඛලීගෝසාලයන් වෙතට පැමිණ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්දැයි ඇසුවෙමි´´.

19. ´´ස්වාමීනි, මා මෙසේ කී කල මක්ඛලීගෝසාල මට මෙය කීවේය. එනම්- මහරජ, සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව සත්වයෝ කෙලෙසෙත්. සත්වයන්ගේ පිරිසිඳු වීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයෝ පිරිසිඳු වෙත්. තමා කල කර්මයෙහි විපාක නැත. අනුන්ගේ අවවාදානුශාසනා පරිදි කල කර්මයෙහි ඵලය නැත. බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝද, සියළු ප්‍රාණීහුද, සියළු භූතයෝද යන සියල්ලෝම වසඟ නැත්තෝ බල නැත්තෝය.

වීර්යය නැත්තෝය. නියම ගති ඇති බැවින් සය ආකාර උසස් ජාතීන් අතුරෙහි ඒ ඒ ගතිවලට පැමිණීමෙන්ද ස්වභාවයෙන්ද නොයෙක් ආකාරයට පැමිණියාහු ජාතියෙහිම සුවදුක් විඳිත්. භවයෙන් භවයෙන් ගොස් ජීවත් වෙමින් දුක් අවසන් කෙරෙත්´´.

´´ස්වාමීනි, මෙසේ මා විසින් ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල මක්ඛලීගෝසාල භවයෙන් භවයට යාමෙන් සත්වයා පිරිසිඳු වන බව ප්‍රකාශ කළේය. ඔහු කී දේ සාර වශයෙන් නොගෙන, එය සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි´´.

20. ´´ස්වාමීනි, දිනක් මම කේස කම්බලධාරීවූ අජිතයන් වෙත පැමිණ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට හැකිදැයි ඇසුවෙමි´´.

´´ස්වාමීනි, මා මෙසේ කී කල කේසකම්බල අජිත මට මෙය කීයේය. – මහරජ, දානයක් නැත, යාගයක් නැත, ගරු බුහුමන් කිරීමක් නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයක් නැත, විපාකයක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවෙක් නැත, පියෙක් නැත, මැරී උපදින සත්වයෝ නැත, යමෙක් මෙලොව පරලොව විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙත්ද එබඳු ආර්ය මාර්ගයට පැමිණි හොඳින් පිළිපැද්ද මහණ බමුණෝ ලෝකයේ නැත.

සතර මහා මූලික ධාතු (චතුර් මහා භූතමය) වූ මේ පුර්ෂ තෙමේ යම් කලෙක මැරුණේද එකල ඒ ඒ ධාතු, ධාතු රැසට පැමිණෙයි, ඇතුලත් වෙයි. ඉන්ද්‍රියයෝ හය අහසෙහි හැසිරෙත්. අනුවණ අයද නුවණ ඇත්තෝද මරණින් පසු සහමුලින් නැතිවෙත්, වැනසෙත්. මරණින් මතු ඔවුන් නොවෙත් (ඉපදීමක් නැත)´´.

´´ස්වාමින් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල අජිත තෙමේ උච්ඡෙද වාදය පැවසීය. මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල ස්වාමීනි ඒ කේසකම්බල අජිත තෙමේ උච්ඡෙද වාදය පැවසීය. ඔහු කී දේම සාරයයි නොගෙන උන් ආසනයෙන් නැගිට ගියෙමි´´.

21. ´´ස්වාමින් වහන්ස, මම එක් දිනක් කච්චායන ගෝත්‍රයෙහිවූ පකුධයන් වෙත ගියෙමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට හැකිදැයි ඇසුවෙමි´´.

´´ස්වාමීනි, මා මෙසේ කී කල පකුධ කච්චායන මට මෙසේ කීය. – මහරජ, නොකරණ ලද්දාහුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දාවූද, නොමවන ලද්දාවූ පඨවි සමූහය, ආපෝ සමූහය, තේජෝ සමූහය, වායෝ සමූහය, සැපය, දුකය, සත්වැනිවූ ප්‍රාණය යන මොහුය මේ සමූහ සත කිසි හේතුවකින් නොකරණ ලදහ. මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලදහ. කිසිවකු විසින් හෝ කිසිවකු ලවා නොමවන ලද්දෝය. කිසිවකු නූපදනන්නෝය. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද කිසිවෙක් කිසිවකු ජීවිතයෙන් තොර නොකරයි. පඨවි ආදී සත් වැදෑරුම් සමූහයන් අතුරින් එහි සිදුරෙන් ආයුධයක් ඇතුළු වෙයි´´.

´´ස්වාමීනි, මා මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල කච්චායන

ගෝත්‍රයෙහිවූ පකුධ තෙමේ අනිකකින් අනිකක් පැවසීය. ඔහු කී දේම සාරයයි නොගෙන සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි´´.

22. ´´ස්වාමින් වහන්ස, මම එක් කලෙක නිගණ්ඨනාථ පුත්‍රයන් යම් තැනෙකද එතැනට ගියෙමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් දක්වන්නට හැකිදැයි ඇසුවෙමි´´.

´´ස්වාමීනි, මා මෙසේ කී කල ඒ අගගිවෙස්සන තෙමේ මෙසේ කීය.- මහරජ, මේ ලෝකයේ නිගණ්ඨ තෙමේ සතර කොටසින් යුත් සංවරයෙන් යුක්තවේ. නිගණ්ඨ තෙමේ සියළු සිහිල් ජලයෙන් වැළකෙන්නේ සියළු පවින් වැළකීමෙන් යුක්ත වූයේ සියළු පවු පිඹ හැරියේ සියළු පව් වැළක්මෙන් ස්පර්ශ කරන ලද්දේ වේ. මහරජ, නිගණ්ඨ තෙමේ සංවරයෙන් මෙසේ සතර කොටසින් යුක්තවේ. මහරජ, යම් හෙයකින් නිගණ්ඨ තෙමේ මෙසේ සතර කොටසින් යුත් සංවරයෙන් යුක්තවූයේ වේද, මහරජ, මේ නිගණ්ඨ තෙමේ කෙලවරට පැමිණි සිත් ඇත්තේද, දමනය කරන ලද සිත් ඇත්තේද, හොඳ ලෙස පිහිටි සිත් ඇත්තේද වෙයි´´.

´´ස්වාමීනි, මා විසින් මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිඝ ණ්ඨනාථ පුත්‍ර තෙමේ හතර කොටසින් යුත් සංවරය ප්‍රකාශ කෙළේය. එයම සාරයයි නොගන්නේ, සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැගිට ගියෙමි´´.

23. ´´ස්වාමීන් වහන්ස මම එක් දිනක් බෙලට්ඨපුත්තවූ සංජය, වෙත ගියෙමි. මත්තෙහි ඵලදෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණෝ කෙරෙහි පිහිටුවත්. ඒ මන්දැයි ඇසුවෙමි´´.

´´ස්වාමීන් වහන්ස මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල සත්ව තෙම මරණින් මතු වන්නේයයි කියාද, සත්ව තෙම මරණින් මතු නොවන්නේයයි කියාද, සත්වයා මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි, ආදී කියා බෙලට්ඨපුත්ත සංජය ප්‍රශ්නය ඉවත ලෑම ඉදිරිපත් කළේය. ඒ නොගන්නේ, ඒ සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැගිට ගියෙමි´´.

24.´´ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේද විචාරමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් දක්වන්නට හැක්කේද?´´

´´එසේ හැක්කේය, මහරජ, එසේ නම් මහරජ මේ කරුණෙහි ලා ඔබගෙන් අසන්නෙමි. යම් ලෙසකින් ඔබට රුචිවන්නේද එසේ ප්‍රකාශ කරව.´´

25. ´´මහරජ මෙකරුණෙහි ඔබට කුමක් හැඟෙන්නේද? එනම් – ඔබට මෙහි අලස නොවී කටයුතු කරන වැඩකරු පුරුෂයෙක් කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. ඔහු මෙසේ මහණ වූයේම කය සංවරයෙන් යුක්තව වසන්නේය. කිම මහරජ? ´´ඔහු වැඩ කරුවෙක් වේවායි´´ ඔබ කියන්නෙහිද?´´

´´නැත ස්වාමීනි, එබන්දක් නොවේ. එසේ ඇති කල්හි ඔහුට අපි වැඳීමද කරන්නෙමු. ඔහු දැක (අපිම) හුනස්නෙන්ද නැගිටින්නෙමු, ආසනයන්ද පනවන්නෙමු, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍යවූ විට ඒ බව අපට කිව මැනවැයිද විශේෂයෙන් පවරන්නෙමු. ධාර්මිකවූ ආරක්ෂාවෙන් ආවරණයෙන් රැකීමද ඔහුට සලසන්නෙමු.´´

´´කිම මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙන් දැක්කයුතු විපාක ඇති ඵලයක් වේද? නොවේද? ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මෙසේ ඇති කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලය වේමය´´.

26 ´´ස්වාමීනි එපරිද්දෙන්ම මේ ආත්ම භාවයෙහි ලැබෙන අන්‍යවූද මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලයක් ප්‍රකාශ කළ හැක්කේද?´´

´´හැක්කේය මහරජ, එසේ නම් මහරජ මේ කරැණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි, යම් ලෙසකින් ඔබට රුචි වන්නේද එසේම ප්‍රකශ කරව. මහරජ, ඔබට සීසාන්නාවූ ගෘහපතියෙක්වූ පුරුෂයෙක් කෙස් දැළි රැවුලු කපාදමා සිවුරැ හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නේය. හෙතෙම මෙසේ මහණවූයේ කයින් සංවරව වසන්නේය. වචනයෙන් සංවරව වසන්නේය, සිතින් සංවරව වසන්නේය, හෙතෙම ´´සීසාන්නාවූ ගෘහපතිවූ අයබදු ගෙවන්නාවූ ධනධාන්‍ය රැස්කරන්නාවූ තැනැත්තෙක් වේවායි´´ ඔබ මෙසේ කියන්නෙහිද?´´

´´නැත ස්වාමීනි එසේ නොකියන්නෙමි. එසේ ඇති කල්හි අපිම ඔහුට නමස්කාර කරන්නෙමු. ධාර්මික ආරක්ෂා ආවරණයෙන් රැකීමද සලස්වන්නෙමු´´.

´´කිම මහරජ? ඉතින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයක් වේද? නොවේද? මේ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?´´

´´ස්වාමීනි, මෙසේ වූකල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයේ දැක්කයුතු විපාක ඵලයක් වේමය.´´

27. ´´ස්වාමීන් වහන්ස මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා අතිශයින් සිත් පිනවන අතිශයින් උතුම්වූ මේ ආත්ම භාවයෙහි ලැබිය හැකි අන්‍යවූද විපාක ඵලයක් දක්වන්නට හැක්කේද?´´

´´හැක්කේය මහරජ, එසේ නම් අසව මහරජ, මනාකොට මෙනෙහි කරව කියන්නෙමි´´.

28. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. ´´මහරජ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියළු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුර්ෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, සත්‍යවූ උතුම් ධර්ම හතර (චතුරාය්‍ර්‍ය සත්‍ය) අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, සියළු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිඳුවූ සියළු ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති´´.

29. ´´ඒ ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. ´´ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වහන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිඳුවූ ලියවූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙම් නම් ඉතා යහපතැයි´´ කියායි.

´´ඔහු පසු කාලයක සම්පත් රාශියක් හැර, නෑ පිරිස් හැර කෙස් දැලි රැවුලු කපා දමා සිවුරැ හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිඳුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි´´.

30. ´´මහරජ, භික්‍ෂු නමක් කෙසේ නම් සීල සම්පන්න වේද? මහරජ, මේ සස්නෙහිවූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඬු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරෙයි.´´

´´නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ සොර නොවූ පිරිසිඳුවූ සිතින් යුතුව වාසය කෙරේ.´´

´´අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි.´´

´´බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ.´´

´´පිසිණු බස් හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ, සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ සමගියෙන් ඇලුම් බහුල කොට ඇත්තේ සමගි කම්හි ඇලුනේ සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරන තෙපුල් කියන්නේය.´´

´´පරුෂ වචනය, හැර සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එබඳු වචනම කියන්නේවේ.´´

´´හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ ධර්මයෙන් යුක්තවූ විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මේ ඔහුගේ සීලය වේ.´´

´´තණ ගස්, වැල් සිඳීම්, බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රී කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය.´´

´´රන්රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේය.´´

´´අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, ස්ත්‍රීන් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මේ පිළිගැන්මෙන්ද සම්පූර්ණයෙන් තොර වූයේය´´.

´´ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය.´´

´´ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සඳහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අඟවා වංචා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැනීමය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්තු පැහැර ගැනීමය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මේ ඔහුගේ සීල වේ.´´

(සුලු සීලය නිමියේය)

31. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජ ගාම භූත ගාමයන් සිඳීම්, බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.´´

´´එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නම් වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නම් එසේම මන්ත්‍ර පිරවීමෙන් නෘත්‍ය ආදී විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ. එසේම දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. දෝෂාරෝපන කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය, හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

(මැඳුම් සිල් නිමියේය)

32. ´´සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන් කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍රග්‍රහණ, සූය්‍ර්‍යග්‍රහණ යනාදියේ විපාක කීමේ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

33. ´´සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

34. ´´සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැඳීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

35. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භූරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබඳු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

36. ´´මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත් – මහරජ, ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සම්පන්නවූ භික්‍ෂු තෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආය්‍ර්‍යවූ මේ ශීල රාශියෙන් යුක්තවු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිඳුවූ (කායික චෛතසික) සැපය විඳියි. මහරජ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්‍ෂුව ශීලසම්පන්න නම් වේ.´´

(මහ සිල් නිමියේය)

37. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? මහරජ, මේ සස්නෙහි භික්‍ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ සිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රිය රකී, ඇස් ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. එසේම කන් ඉන්ද්‍රියෙහිද, නාස් ඉන්ද්‍රියෙහිද, දිව් ඉන්ද්‍රියෙහිද, සිත් ඉන්ද්‍රියෙහිද සංවරයට පැමිණේ. එබඳුවූ භික්‍ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිඳුවූ අධි විත්ත සැපය විඳියි. මහරජ, මෙසේ වූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.´´

38. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´

´´මහරජ, මේ සස්නෙහි භික්‍ෂු තෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද, අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, දෙපට සිවුරය, පාත්‍රය, සිවුරය යන මේ දේ දැරීමෙහිදී අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මළ මුත්‍රා පහකිරීම්ද, නුවණින් (ආදීනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. මහරජ, මෙසේ කරන්නාවූ භික්‍ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.´´

39. ´´මහරජ, භික්‍ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?´´

´´මහරජ, භික්‍ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිව්රෙන්ද, ආරක්‍ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අට පිරිකර (කය පිළිබඳ වූදේ) පමනක් ගෙනයයි. මෙසේ වූ භික්‍ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

40. ඒ භික්‍ෂු තෙමේ කැලයද, ගහක් මුලද, සොහොන්ද ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පය්‍ර්‍යඞකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වශයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.

41. ´´ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිඳු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රොධය පහකොට ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිඳු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිලිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිඳු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරු කොට සිත පිරිසිඳු කෙරේ. උඩඟුබව හා කුකුස දුරුකොට සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ, සිතඋඩඟු බව හා කුකුසෙන් පිරිසිඳු කෙරේ. විචිකිච්ජාව සැකය දුරුකොට පහකළ විචිකිච්ජා ඇත්තේ කුශල ධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිච්ජාවෙන් සිත පිරිසිඳු කෙරේ.

42. ´´මහරජ, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය.

43. ´´මහරජ, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩිගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය.

44. මහරජ, යම්සේ පුරුෂකේ සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

45. ´´මහරජ, යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩ කරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය.

46. ´´මහරජ, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ භය සහිතවූ, දීර්ඝ වූ, කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්නේ පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය.

47. ´´මහරජ, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන් භික්‍ෂු තෙමේ පහ නොකළ ( පඤ් චනීවරණ ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී තමන් තුළ ලා දක්නේය.

48. ´´පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්‍ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රිතිසහගත සිත් ඇත්තහුගේ නාම කය ( වේදනාදී ස්කන්ධ හතර ) සංසිඳෙයි. සංසිඳුනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට ( එකඟ බවට ) පැමිණෙයි.

49. ´´ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශ කාමයන්ගේන් වෙන්වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන්වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ( සකල ) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණ්යෙන් පුරවයි. සැම තන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි. මහරජ, මෙයද මේ ආත්මයෙහි දැකියයුතු විපාක ඇති ඵලයකි. මෙය ඉහතකී මේ ආත්ම භාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රෙෂ්ඨද වෙයි.

50. ´´මහරජ, නැවතද භික්‍ෂු තෙමේ අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ. මහරජ, එපරිද්දෙන් මේ භික්‍ෂු තෙමේ මේ මුලු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ. ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

´´මහරජ මෙයද මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයෙකි, මෙය වනාහි ඉහතකී මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා මනොඥය, බොහෝසේ ශ්‍රෙෂ්ඨය.

51. ´´නැවතද මහරජ, ඒ භික්‍ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්‍ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි. ´´මහරජ මෙයද ඉහතකී ඵලයන්ට වඩා බොහෝසේ මනහර වෙයි. බොහෝසේ ශ්‍රෙෂ්ඨද වෙයි.

52. ´´නැවතද මහරජ ඒ මහණ තෙමේ සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිඳු බැව් ඇති හතරවෙනි ධ්‍යාන ( කුසල ) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ ධ්‍යාන ලාභී භික්‍ෂුහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිඳුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

´´මහරජ, මේ ඵලය ඉහතකී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි බොහෝසේ ශ්‍රෙෂ්ඨයි.

53. ´´නැවතද, මහරජ ඒ භික්‍ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය සතර මහා භූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේ ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය ඇඟ, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය, යන මේ දේ ස්වභාව කොට ඇත්තේය. මාගේ මේ විඤ් ඤාණය ශරීරය ආශ්‍රය කෙලේ වෙයි. මෙහිම බැඳී සිටියේය.

´´මහරජ, මේ ඵලයද, දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝසේ මනොඥය, බොහෝසේ ශ්‍රෙෂ්ඨද වෙයි.

54. ´´ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලේශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ මනොමයවූ ( ධ්‍යාන සිතින් නිපදවනලද ) ශරීරය හා අතපය ආදී අවයව ඇති විකල නොවූ ඉඳුරන් ඇති මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි. මහරජ, එසේම භික්‍ෂුතෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති සිතින් මවන ලද, සියලු ශරීරය හා අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. මහරජ, මෙයද ලැබිය යුතු විපාක ඵලයන්ට වඩා උතුම්වූද බොහෝසේ මිහිරිවූද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු විපාක ඵලයක් වෙයි.

55. ´´ඔහු ඊට පසු සෘඬිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති සෘඬිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිඳ ගෙනම යයි. මේ මහත් සෘඬි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

´´මහරජ, මෙයද මේ ආත්මයෙහිවූ, ඵලයන්ට වඩා උතුම්වූද, බොහෝසේ මිහිරිවූද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි.

56. ඔහු ඊට පසු දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්ධයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්ධයන් අසයි. ´´මහරජ, මෙයද පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම්වූද, මිහිරිවූද ඵලයෙකි.

57. ´´ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. ලෞකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. (ක්ලේෂයෙන් මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.´´මහරජ, මෙයද මේ ආත්මයෙහි භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙකි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහිකෙරෙයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

´´මහරජ, මෙයද පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම්වූද, අතිශයින් මිහිරිවූද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි.

58. ´´ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය.

´´මහරජ, මෙයද මේ ආත්මයෙහිම භික්‍ෂුන් විසින් ලැබිය යුතු පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම්වූද, අතිශයින් මිහිරිවූද, මේ ආත්මයෙහි වූ භික්‍ෂු භාවයේ ඵලයෙකි.

59. ´´ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ සංසාරයට ( භවයට ) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ, මිඳුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරණ ලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ´´යිද දැනගනී.

´´මහරජ, මේ වනාහි මේ ආත්මයෙහිවූ භික්‍ෂුන් විසින් ලැබිය යුතු පෙර කියන ඵලයන්ට වඩා බොහෝ උතුම්වූද, බොහෝ මිහිරිවූද, මේ ආත්මයෙහි භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙකි. මේ භික්‍ෂු භාවයේ ඵලයට වඩා බොහෝ උතුම්වූද, බොහෝ මිහිරිවූද, භික්‍ෂුන් ලැබිය යුතු වෙන ඵලයෙක් නැත.

60. මෙසේ වදාළ කල්හි අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ (11) ස්වාමීනි, ඉතාම යහපති. ස්වාමීනි, ඉතාම යහපති ස්වාමීනි, ( යමෙක් ) යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නෙද, වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහණක් දල්වන්නේද, එලෙසින්ම භාග්‍යවතුන වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරණ ලද්දේය.

(111)´´ස්වාමීනි ( ඒ ඇසූ ) මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝ යාද, සරණකොට ගණිමි. අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා. (1111) බාලයෙකු මෙන්ද, අනුවණයෙකු මෙන්ද, අදක්‍ෂයකු මෙන්ද, මම වරදට අසුවූයෙමි. ඒ මම ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකුවූ මාගේ පියා සම්පත් ලොභ හේතුවෙන් ජීවිතයෙන් තොර කෙළෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මත්තෙහි සංවරණය පිණිස ඒ වරදට මට ක්‍ෂමා කරණ සේක්වා.´´

61. ´´මහරජ, ඒකාන්තයෙන් බාලයෙකු මෙන්ද, අනුවණයෙකු මෙන්ද, අදක්‍ෂයෙකු මෙන්ද වරද ඔබ ඉක්මවා ගියේය. ඒ වරද නම් ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකුවූ පියා සම්පත් ලොභ හේතුවෙන් ජීවිතයෙන් තොර කළෙහිය. මහරජ, ඔබ යම් හෙයකින් වරද වරද වශයෙන් දැක ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරෙහි නම් ඔබේ ඒ වරද අපි ඉවසමු. යමෙක් වරද වරද වශයෙන් දැක මත්තෙහි සංවරණයට පැමිණේද, ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරේද, එය උතුම් හැසිරීමෙහි දියුණුවයි,´´

62. මෙසේ වදාළ කල්හි අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ´´ස්වාමීනි, දැන් ඉතින් අපි යමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.´´

´´මහරජ, එසේ නම් ඔබට යාමට සුදුසු කාලය නම් ඒ බව දනුව.´´

එකල්හි මගධරට රජවූ වෙදෙහි පුත්‍ර අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුව, ඒ ගැණ ප්‍රීතිව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ දකුණු පැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවයෙන් ගියේය.

63. එවිට භාග්‍යවත් තෙමේ, අජාසත් රජ බැහැර ගිය නොබෝ වේලාවකින් භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කෙළේය. ´´මහණෙනි, මේ රජ තමන්ම වැනසුනේය. මේ රජ පියා දිවියෙන් තොර නොකෙළේ නම් මේ හුනස්නෙහිදීම පිරිසිදුවූ කෙලෙස් මළ පහවූ ධර්ම ඇස ( සෝවාන් මග ) ඔහුට උපදින්නේය.´´

භාග්‍යවතුන් වහන්සේ මේසේ වදාළ සේක. සතුටුවූ සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

(දෙවෙනිවූ සාමඤ්ඤ ඵල සූත්‍රය නිමි. )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: