1. බ්‍රහ්මජාල සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පන්සියයක් පමණ වූ බොහෝ භික්‍ෂු සංඝයා හා සමග වැඩියෝය. සුප්පිය නම් පිරිවැජියාද බඹදත් නම් තරුණ අතවැසියාද සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මාණවකයා නොයෙක් අයුරින් බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇඳුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුඬ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

2. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළ වූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්‍ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද එම ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බඹදත් නම් තරුණ අතවැසි මාණවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි අගුණ කියයි. බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.

3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රුස්වීම් ශාලාවෙහි එක්ව රුස්ව වැඩසිටි බොහෝ භික්‍ෂුන් අතරෙහි මේ කථා ධර්‍මය පහළ විය. ´´ඇවැත්නි, සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දන්නා අරහත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් අදහස් ඇතිබව යම් පමණ හොඳින් අවබෝධ කරන ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුන්හට ධර්මයට සංඝයාහට දොස් කියයි. පිරිවැජියාගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. භාග්‍යවතුන් වහන්සේගේද භික්‍ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්´´.

4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ගේ මේ කථාව දැන රුස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ හුන්නෝය. වැඩහිඳ ´´මහනෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන් ගෙන සිටියාහුදැ´´ යි ඇසූහ. ඒ භික්‍ෂූහු ´´ස්වාමීනි, අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සන්‍වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇතිබව යම් පමණ යහපත් සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි. ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි. විරුඞ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්‍ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය´´ යි කීහ.

5. ´´මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය, අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකටයුත්තේය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. කිමෙක්ද තෙපි අනුන්ගේ සුභ සිද්ධිය අසුභ සිද්ධිය දන්නහුද?´´

6. ´´ස්වාමීනි ඒ දැනීම නැත´´

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකොට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඞගු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ වන්නේය´´.

7. ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් පැහැදිලිය, සත්‍යය, මේ (ගුණය) අප කෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේයයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය´´.

´´මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය සුළු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි. අඩු දෙයකි. එසේ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?´´

8. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණඝාතය අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. ශ්‍රමණ භවත් ගෞතමයෝ නුදුන්දේ ගැනීම අත්හැර දමා නුදුන්දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිඳු සිතින් වාසය කරන්නාහ´´ යි.

9. ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ කාම සම්පත් දුරු කොට කාම සැපයෙන් වැළකුනෝය. කාම සම්පතෙන් ඉතාම ඈත් වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් වෙන් වූවෝය´´ යි.

10. ´´ශ්‍රමණ ගෞතමයෝ බොරු කීමෙන් වැළකුණෝය. සත්‍යම කියති. සත්‍යම ගළපා කියති. ස්ථිර වූ ඇදහිය යුතු කථා ඇත්තෝය. ලෝකයා මුළා කරන විෂම වාද නොකරන්නෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නැමැති කේලාම් කීම අතහැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙසේ භින්නවූවන් සම්බන්ධව ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ. සමගිවූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති´´

´´ශ්‍රමණ ගෞතමයෝ පරුෂ වචනය සත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද, පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍රිය වේද, බොහෝදෙනාගේ සිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය´´.

´´ශ්‍රමණ භවත් ගෞතමයෝ සම්ඵප්‍රලාපය අත්හැර නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්ණෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්‍යම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යෝග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ සිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය.

11. ´´ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ කැඩීම්, සිඳීම්වලින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රී කෑමෙන් වැළකී විකාල භෝජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ නැටීම්, ගී කීම්, වැයීම්, කෝළම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා, සුවඳ දැරීම වැනි සැරසීම් වලින් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන, මහා ආසනයන් ගෙන් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ රන් රිදී, මිළ මුදල්, අමු මාංශ, ස්ත්‍රීන් හෝ ගෑනු (ගැහැනු) දරුවන්, දාසයින් හෝ දාසීන්, එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, ඇතුන්, ගවයින්, අශ්වයින්, වෙළඹුන්, කුඹුරු, වතු පිළිගැන්මෙන් වැළකුණෝය´´.

´´ශ්‍රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන් ගෙට යන මෙහෙවරින් ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන්, හොරකිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද අල්ලස් ගැනීම්, වංචා, මායම් කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර (බලහත්කාර) ක්‍රියා වලින්ද වැළකුණෝය´´.

´´මහණෙනි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය´´ යි වදාළ සේක.

චූල ශීලය නිමි.

12. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්‍ණයෙන් වැළකුණේ (වැළකුණෝ) ශ්‍රමණ ගෞතමයෝය´´.

´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරව දේ රුස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග පාව වර්ග රෙදිපිළි ආදී ඇඳීම් රථ වාහන ඇඳ පුටු ආදිය සුවඳ වර්ග තබාගෙන ප්‍රයෝජන විඳීමය. මෙසේ මෙබඳු දේ රුස් කොට තබා ප්‍රයෝජන විඳීමෙන් සම්පූර්‍ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

13. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් – නැටීමය, ගී කිමය, වීණා ආදිය වැයීමය, රඟ මඬුලු බැලීමය, ගොතා රස කර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිණී නැංවීම නැමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙහුම් කෙළිය, උණගස් ඔසවා නැටුම, මිණී ඇට සෝදා තැබීම්ය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, (මල්ලව නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුදසෙන් පිරික්සීමය, කඳවුරුය, සිවුරඟසේනාව දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැකීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

14. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණ වූ මෙයාකාර සූදු කෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- අට මඬුලු(කොටු) කෙළිය, දස මඬුලු(කොටු) කෙළිය, අහස් කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම), එක් කොට තබන දේ නොසොල්වා ගැනීමමේ ලම කෙළිය, සිංහ කෙළිය (එනම් සැලුම් කෙළිය කූරු ගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම බිම හෝ බිත්තිවල ලී කූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩා කිරීම, පන්දු කෙළිය, පත් කුලල්(වස්දඬු) පිඹීමය, නඟුල් කෙළිය, කරනම් ගැසීම, කන්නන්ගුරු කෙළිය (එනම් තල්පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රිඩාවකි), වැලි ආදිය මැනීමේ සෙල්ලම රථ වාහන යොදා කරන සෙල්ලම, දුනු කෙළිය, අකුරු සෙල්ලම, සිතූදේ කීමේ සෙල්ලම, දෝෂ රූප දක්වා කරන සෙල්ලම යනුය. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

15. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ උස් ආසන මහ ආසනයන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. මෙබඳුවූ උස් ආසන මහ ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

16. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සමබන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරයි.මෙබඳුවූ සැරසීම් හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

17. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩ නැති කථාවෙහි යෙදී වාසය කරති. එනම් රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය, යුඞ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන(රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුර ගන්නා තැන් වලට හෝ තොටුපළ වලට රුස්වූ අය කරන කථාය, නැසීගිය නෑයින් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය´´.

18. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් සහ පණිවිඩ ගෙන යෑමෙහි යෙදී වාසය කරති. කුහකයෝද වෙති. සිවුපසය ලබා ගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැති කිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි දූතකම් කරන්නෝද කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය´´.

19. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්- (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය, (ෂෂ) මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.

(ෂෂෂ) (අසවල් දින) රජුගේ බැහෑර යාම හෝ ආපසු ඒම වෙයි. ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි. පිට රජුන්ගේ ඉවත යෑම වෙයි. ඇතුළු නුවර රජුන්ට ජය වෙයි. පිට රජුන්ට පරාජය වෙයි. මෙසේ මොහුය ජය වන්නේය. මොහුට පරාජය වන්නේය.

(ෂඪ) චන්‍ද්‍රග්‍රහණය සූය්‍ර්‍යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන් (ස්වකීය) මාර්ගයෙහි හෝ අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) දිසාවන් දැවීම, භූමිකම්පා, අහස ගිගූරුම් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැසීම, කෙලෙසීම, පිරිසිඳුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍රග්‍රහණයක් සූය්‍ර්‍යග්‍රහණයක් (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්‍ද්‍ර සූය්‍ය යන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන හෝ අමාර්ග ගමන හෝ (ග්‍රහ) තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන උල්කාපාතයෙක් (දිසාවන්) දැවීමෙක්, භූමි කම්පාවක්, අහස ගිගූරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්‍ද්‍ර සූය්‍ර්‍ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම (බැසීම), කෙලෙසීම, පිරිසිඳු වීම වන්නේය යනු දක්වන විද්‍යායි.

(ඪ) හොඳින් වැහි හෝ නියඟ හෝ නපුරු වැහි ඇති වන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය හෝ හිඟ වන්නේය. භය හෝ ලෙඩ ඇති වන්නේය හෝ නැති වන්නේයයි කීමද හස්ත්‍ර මුද්‍රා ආදී ලකුණුවලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, ඝණ ප්‍රමාන දැන ගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය යන මේ විද්‍යායි.

(ඪෂෂ) විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත් (සිත්) දිනාගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස් කරවීම, වියදම් කරවීම, යහපත් ශ්‍රියාව ඇති කරවීම හෝ නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නා සේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටවා ප්‍රශ්න ඇසීම, ආවේස වූ ගෑනු (ගැහැනු) දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම, දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූය්‍ර්‍යයාට හෝ බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම යනුයි.

(ඪෂෂ) බාරහාරවීම, බාරහාර ඔප්පූ කිරීම, බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රිා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුඞ කරවීම, අනුන් නැහැවීම, අනුන් සඳහා ගිනි පිදීම, වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි.

එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි. අඩු දෙයකි. සුළු ස්වභාව ගතියෙකි´´.

20. ´´මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ, දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, මිහිරිවූ, තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඬුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ ගුණ හොඳින් ප්‍රකාශවේ. පැහැදිලිව පෙනේ. ඒ ධර්ම කවරහුද?

21. ´´මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. ඇදහීම ඇත්තෝ වෙති. නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද?´´.

22. ´´සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති´´.

23. ´´මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන් වඩා වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කරත්ද? එනම්, එක් ජාතියක්ද, ජාති සිය දහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ පුරුදු කිරීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරති. පෙර උප්පත්තිය දකින්නා මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිත්. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීන කරන වීය්‍ර්‍යයෙන් වීය්‍ර්‍යය නිතර යෙදීමෙන්, වීය්‍ර්‍යය නැවත නැවත යෙදීමෙන්, නොපමා වීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර සිටි තැන් සිහි කලෙම්ද එලෙසින් පෙර උප්පත්ති සිහිකිරීමේ ඥානය ලැබූවෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහි කරමි.

ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති. එයින් මිදී යති. උපදිත්, සදාකලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්පය ඇතිබව ඒ කාරණයෙන් මම දනිමි´´ යි කියාය.

´´මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි´´.

24. ´´දෙවෙනි කාරණයෙහිද ඉහත මෙන් සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්පයක්ද, ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, ගෝත්‍රයක්, රූපයක්, ආහාරයක්, සුවදුක්, ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරයි.

ඔහු මෙසේ කියයි.

´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. පර්වතයක මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කවරේද? මම යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කලෙමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කරමි. ආත්මයද ලෝකයද නිත්‍යය. මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේයයි මේ කරුණින්ද නිත්‍ය භාවය දනිමි´´යි කියයි.

25. ´´තුන්වැනි කාරණයෙහිද යම් මහණෙක් හෝ බමුණෙක් ඉහත කීසේ පෙර සිටිතැන් සිහි කෙරේද, එලෙසින් පෙර උප්පත්ති සිහිතිරීමේ ඥානය ලබයි. එනම්- ´´සංවට්ට විවට්ට´´ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි´´යි කියා කියයි.

ඔහු මෙසේ කියයි.´´ආත්මයද ලෝකයද සදාකාලිකය. ඒ භවයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. හැසිරෙති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් පවතිත්´´.

´´මහණෙනි, මේ ඒ තුන්වැනි කාරණයයි´´

26. ´´හතරවැනි කාරණයෙහිද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ´´ආත්මයද ලෝකයද සදාකාලිකය. එයින් යමක් නූපදී. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති. ජාතියෙන් ජාතියට ගමන් කරති. චුතවෙත්. උපදිත්. සදාකලික වස්තු මෙන් නොනැසී සිටිත්´´යනුයි.

´´මේ ඒ හතරවැනි කාරණයයි´´.

27. ´´මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති.

28. ´´මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැනීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දක්නා ලද්දේ ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද, ඇති සැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන් ගෙන් මිදුනෝය.

29. යම් ධර්‍මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිසැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.

පළමුවැනි බණ වරයි.

__1. ´´මහණෙනි, එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය හා ලෝකය එක් කොටසක් සදාකාලිකය. එක් කොටසක් සදාකාලික නොවේ යයි කරුණූ හතරකින් ප්‍රකාශ කරති´´.

2. ´´මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් එන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සන්‍වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔවුහු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, සිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔවුහු එහි බොහෝ කාලයක් සිටිති.

3. ´´මහණෙනි, යම්කිසි විටෙක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හට ගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සන්‍වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදීයි. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපිදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතිව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

4. ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් කා කලකිරීමක් ඇතිවෙයි. ´´වෙනත් සන්‍වයෝද මේ භවයට එත් නම් ඉතා හොඳය´´යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවෙයි. ඉන්පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන්, ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත්. ඔවුහුද එහි සිතින් හටගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතිව ශුභ විමානේ සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

5. ´´මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ´´මම, බ්‍රහ්ම වෙමි. මහා බ්‍රහ්ම වෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. ඒකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලෝක කර්‍තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම් වෙමි. ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද ලෝකයාගේ පියා වෙමි. මේ සන්‍වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, ´´අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ´´යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය. එබැවින් මාගේ සිතේ ප්‍රාර්ථනාවෙන් මේ සන්‍වයෝ මේ භවයට පැමිණියෝය´´ යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි. ´´මේ පින්වත් අය බ්‍රහ්මය, මහා බ්‍රහ්මය. සෙස්සන් මැඩ පවත්වන්නෙකි, අනුන් විසින් මැඩ නොපවත්වන්නෙකි. ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලෝක කර්‍තෘය. ලෝකය මැවුම්කාරයාය. උත්තමයෙකි. ලොව බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි. උපන් ලෝකයාගේ පියෙකි. මේ පිණ්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු´´ යනුයි.

6.´´මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක් වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, රුවෙන් ඉතා අඩුවූද පිරිවර ඇත්තෙක්දවේ. මහණෙනි, ඒ කාරණය සිද්ධවේ. එනම් ඒක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ´´.

මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීය්‍ර්‍ය කොට එම වීය්‍ර්‍ය පුහුණු කර එම වීය්‍ර්‍ය නැවත නැවත යෙදීමට පැමිණ අප්‍රමාදයට පැමිණ හොඳින් භාවන කිරීමය පැමිණ, යම් සේ සිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි.

´´යම් බ්‍රහ්මයෙක් වේද, ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙකි, මැඩ පැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි. මවන්නෙකි, ඉතා උසස්ය, බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි, ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහු වෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටින්නේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහු වෙමු, ඒ අපි අනිත්‍යය, සථිර නැත. ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආමෙමු´´යි. මේ ඒ ප්‍රථම කරුණයි.

7. දෙවැනිව මහණෙනි, ක්‍රීඩාවෙන් නැසෙන්නා නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත්, ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. ඔහුගේ සිත මුළාවේ. සිහි මුළාව නිසා ඒ දෙවියා දිව්‍ය ශරීරයයෙන් චුතවේ.

8. ´´මහණෙනි, මේ කාරණය දකින්නට ලැබේ. එනම්- එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්ම භාවයට ආ ඔහු ගිහිගෙය අතහැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි. ගිහිගෙයින් ගොස් ශාසනයට පැමිණි ඔහු කෙලෙස් හීන කිරීමේ වීය්‍ර්‍ය කොට, එම වීය්‍ර්‍ය පුහුණූකර, එම වීය්‍ර්‍ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ සිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඉන් මතු සිහි නොකෙරේද, එසේවූ සිතේ තත්ත්වයක් ලබයි.

9. ඔහු මෙසේ කියයි-´´යම් ඒ පින්වත් දෙවි කෙනෙක් ක්‍රීඩාවෙන් නොවැනසුනේද, ඔහු ඉතා බොහෝ කාලයක් සිනාසීම් ක්‍රීඩා ආදියට නොපැමිණ වාසය කරයි. බොහෝ වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි නොයෙදී වාසය කරන ඔවුන්ගේ සිහිය මුළා නොවේ. සිහි නොමුළාවීමෙන් ඒ දෙවියෝ ඒ ආත්මභාවයෙන් චුත නොවේ. ඔහු නිත්‍යවූවෝ ඒකාන්තවූවෝ, සදාකාලික වූවෝ, නොවෙනස්වන ගති ඇත්තෝව, සදාකාලිකවූ වස්තුමෙන් එසේම සිටිත්. යම් එබඳුවූ අපි ඉතා වැඩිවූ ක්‍රීඩාවෙන් ක්ලාන්තවීමුද, ඒ අපි අධික වේලාවක් සිනා කෙළියෙහි ඇලී සැපැයන් යුක්තව වාසය කරමු. වැඩි වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි යෙදී වාසය කළාවූ අපේ සිහි මූළාවිය. මුළාවීමෙන්ම අපි ඒ දිව්‍ය භාවයෙන් චුතවී අනිත්‍යවීමු. ස්ථිර නැතිවීමු. සුළු ආයුෂ ඇත්තෝ වූම්හ. මැරෙන ස්වභාව ඇතිවීමේ මිනිස් බවට ආවෙමු´´යි කියාය.

10. තුන්වැනිවද, මහණෙනි, ´´මනොපදොසික´´ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රෝධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. සිත කිලුටු කරගනී. ඒ දෙවියා ඒ දිව්‍යභාවයෙන් චුතවේ.

11. ´´මහණෙනි, මෙවැනි දෙයක් සිදුවේ. එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය භාවයෙන් චුතව මෙලොවට එයි. කෙලෙසුන් හීන කරන යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් පෙර විසූ ඒ ජාතිය සිහි කෙරේ, ඉන් ඈතට සිහි නොකෙරේ.

12. ඔහු මෙසේ කියයි- ´´යම් ඒ පින්වත් දෙවියෝ සිත කිලුටු කරන්නෝ නොවෙත් නම් ඔවුහු දීර්ඝ කාලයක් ඔවුනොවුන් දෙස කෝප සිතින් නොබලත් නම් එවිට ඔවුහු වැඩි කලක් ඔවුනොවුන් කෝප සිතින් නොබලා ඔවුනොවුන් කෙරෙහි සිත් දුෂ්ට නොකෙරෙත්. ඔවුනොවුන් කෙරෙහි දුෂ්ට සිත් නැති ඔවුහු වෙහෙස නුවූ ශරීර ඇත්තෝද, වෙහෙස නුවූ සිත් ඇත්තෝද වෙත්. ඒ දෙවියෝ දිව්‍ය ආත්ම භාවයෙන් චුත නොවෙත්. ඔවුහු නිත්‍යය, සථිරය, සදාකාලිකය, නොපෙරලෙන ස්වභාව ඇතියහ. සදාකාලික (දේ) මෙන් එසේම සිටිති. නමුත් අපි යම් කරුණකින් සිත් කිලුටු කර ගනිමුද, එවිට අපි ඒ දෙවු භවයෙන් චුතව මෙසේ අනිත්‍යය, අසථිරය, ආයුෂ අඩු, චුතවන ස්වභාව ඇති මේ මිනිසත් බවට පැමිණියෙමු´´යි. මේ ඒ තුන්වන කරුණයි.

13.(පරිවර්තන දෝෂයක් ඇත)

14. ´´මහණෙනි, කෙළවරක් ඇත කෙළවරක් නැතයයි අදහන සමහර මහණ බමුණෝ ලොා්කය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කරුණු සතරකින් ප්‍රකාශ කරති.

15. ´´මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ යම් සේ සිත එකඟකර ගත් කල (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි සිත එකඟ කිරීමක් ඇතිව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ´´හාත්පස වටවූ මේ ලෝකයේ කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීය්‍ර්‍ය කොට, ඒ වීය්‍ර්‍ය නැවත නැවත පුහුණු කොට අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට යම් සේ සිත එකඟ කරගත් කල කෙළවරක් ඇති ලෝකයේ වාසය කෙරෙම්ද, එබඳු සිත් එකඟ වීමක් ලබා ගත්තෙමි. මේ හේතුවෙන් මම ලෝකය කෙළවරක් ඇතිව හාත්පසින් වටවූ බව දනිමි´´. මේ පළමුවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

16. ´´දෙවැනිවද මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි සිත එකඟ කිරීමක් ඇතිව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ´´මේ ලෝකය අනන්තය. කෙළවරක් නැත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීය්‍ර්‍ය කොට යම් සේ සිත එකඟ කරගත් කල යම් සේ ලොව කෙළවරක් නැතැයි දැනීමක් ඇතිව ලෝකයේ වාසය කෙරෙම්ද, එබඳු සිත් එකඟ වීමක් ලබා ගත්තෙමි. මෙයින් ලෝකය අනන්තය. කෙළවරක් නැත්තේයයි දනිමි´´.

මේ දෙවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

17. ´´තුන්වැනිවද මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ යම් සේ සිත එකඟකර ගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැඩූ බැවින් ලෝකයේ උඩින් යටින් කෙළවරක් ඇතැයි හරහට කෙළවරක් නැතැයි යන චිත්ත සමාධියක් ලබා වාසය කරයි. ඔහු මෙසේ කියයි. ´´මේ ලෝකය කෙළවරක් ඇත්තේද කෙළවරක් නැත්තේද වෙයි. ´´මේ ලෝකය කෙළවරක් ඇත. කෙළවරක් හාත්පසින්ම ඇතැ´´යි මෙසේ යම් මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීම බොරුවේ. ´´මේ ලෝකය කෙළවරක් ඇත (නැත) හාත්පසින් වටවී ඇත (නැතැ)´´යි මෙසේ මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීමද බොරුවේ.

මේ ලෝකය කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද වෙයි. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීය්‍ර්‍ය කොට යම් සේ සිත එකඟ කරගත් කල ලොව උඩ යට කෙළවරක් ඇති බවට ලකුණු ඇත්තේ යයිද හරහට කෙළවරක් නැති බවට ලකුණු ඇත්තේ යයිද එබඳු ධ්‍යානයක් ලැබ වාසය කරමි. මෙයින් මම ලෝකය කෙළවරක් ඇතැයිද නැතැයිද දනිමි´´. මේ තුන්වැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

18. ´´සතරවැනිවද මහණෙනි, මෙහි තර්කයෙන් විමසීම කර බලන්නාවූ යම් මහණෙක් හෝ බමුණෙක් ඇත්ද ඔහු තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. ´´මේ ලෝකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද, හාත්පසින්ම වටවී තිබේයයිද කියත් නම් ඔවුන්ගේ ඒ කීම බොරුය,

යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් නැතැයිද, හාත්පසින්ම වටවී නැතැයිද කියත් නම් ඒ කීමත් බොරුය. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද, කෙළවරක් නැතැයිද කියත්ද ඔවුන්ගේ කීම බොරුය. මෙලොව කෙළවරක් ඇත්තේ නැත. මෙලොව කෙළවරක් නැත්තේ නැත´´. මේ ඒ සතරවැනි කරුණයි.

19. ´´මහණෙනි යම් මහණ බමුණෝ කෙළවරක් ඇත, කෙළවරක් නැත යයි අදහා කෙළවරක් ඇත කෙළවරක් නැත යන මේ කරුණු සතරින් ප්‍රකාශ කරති. මේ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මින් එක් කරුණකින් හෝ එසේ ප්‍රකාශ කරත්. මේ ප්‍රකාශයට මින් පිටත් අනික් කරුණක් නැත´´.

20. ´´මහණෙනි ඒ මේ කරුණු තථාගතයෝ දනිති. මේ වැරදි මත මෙසේ ගත් අය මෙසේ තීරණය කරගත් අය මෙබඳු ගති ඇත්තෝ වෙත්, මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එයද දනිති. ඒ දැනුම (ලෝභ, ද්වේශ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන්) තීරණයක් නොකරන තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබෝධ කරන ලදි.

මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්´´.

21. ´´මහණෙනි සමහර මහණ බමුණෝ ´අමරා වික්‍ෂෙප´ (අතට අසුනොවන ආඳුන්) නම් ඇදහීමක් ඇත්තෝ වෙත්. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කරුණු සතරකින් ´අමරා වික්‍ෂෙප´ වූවෝ වචන දමා ගැසීමෙන් ´අමරා වික්‍ෂෙපයට´ පැමිණෙත්´´.

22. ´´මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි ඇති හැටි නොදනියි. මෙසේ ඔහු බොරු කීමට භයින් බොරු කීමට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති. මේ අකුසලැයිද නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ´අමරා වික්‍ෂෙප´ නම් වචන දමා ගැසීමට පැමිණේ. මේ ප්‍රථම කරුණයි´´.

23. ´´දෙවැනිවද මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරිහැටි නොදනියි. මේ අකුසල්යයි හරිහැටි නොදනියි.

මෙසේ ඔහු තද ඇල්මට භයින්, තද ඇල්මට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති. මේ අකුසල්යැයි නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ´අමරා වික්‍ෂෙප´ නම් වචන දමා ගැසීමට පැමිණේ´´.

24. ´´තුන්වැනිවද මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරි ආකාර නොදනියි. මේ අකුසල්යයි හරි ආකාර නොදනියි.

මහණෙනි අමරා වික්‍ෂෙපකවූ සමහර බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල වචන දමා ගැසීම නම් වූ අමරා වික්‍ෂෙපයට පැමිණෙත්ද, මේ ඒ තුන්වැනි කරුණයි´´.

25. ´´සතරවැනිවද මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් නුවණ නැතිව ලොකු මෝඩයෙක් වේ. ඔහු අනුවණ බැවින් බොහෝ මෝඩ බැවින් ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල ´අමරා වික්‍ෂෙප´ නම්වූ වචන දමා ගැසීමට පැමිණේ´´.

මහණෙනි අමරා වික්‍ෂෙපකවූ සමහර බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල වචන දමා ගැසීම නම් වූ අමරා වික්‍ෂෙපයට පැමිණෙත්ද, මේ ඒ සතරවැනි කරුණයි´´.

26. ´´මේ සතරින් හෝ එයින් එකකින් හෝ එසේ පැමිණෙත්. මෙයින් පිටත් කිසි කරුණකින් නොවේ´´.

27. ´´මහණෙනි ඒ මේ කරුණු තථාගතයෝ දනිති.´´

´´මහණෙනි, සමහර මහණ බමුණෝ අහේතුක (ඉබේ) උප්පත්ති ඇතැයි විශ්වාස කරති. ඔවුහු කරුණු දෙකකින් ආත්මයද ලෝකයද (ඉබේ) අහේතුකව උපන්නේ යයි ප්‍රකාශ කරති.

28. ´´මහණෙනි, ´´රූපය පමණක් ඇත්තා´´ නම් දෙවි කෙනෙක් වේ. ඔහු ජීවිතයත් ඊළඟ ජීවිතයත් එකතු කරණ සිත (ප්‍රතිසන්ධි චිත්තය) පහළවීමෙන් ඒ දේව භාවයෙන් චුත වෙත්. ඔහු මෙසේ කියයි.- ´´ආත්මයද ලෝකයද හේතුවක් නැතිව (ඉබේ) උපන්නේය. එසේ කියන්නේ මන්ද? මම පූර්වයෙහි නොවීමි. ඒ මම පෙර නොවී (නොසිට) දැන් සත්ව භාවයට පැමිණියෙමි´´.

29. ´´දෙවැනිවද මහණෙනි, මේ ලෝකයෙහි යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නෙක්ව, විමසන්නෙක්ව මෙසේ කියයි´´. ´´ආත්මයද ලෝකයද අහේතුකව (ඉබේම) උපන්නේය´´.

30. ´´මහණෙනි, ඒ මහණ බමුණෝ හේතුවක් නැති උප්පත්තිය ඇතැයි විශ්වාස කර මේ කරුණු දෙකින් ආත්මයද ලෝකයද (ඉබේ) හේතුවක් නැතිව උපන්නේ යයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝම මේ කරුණු දෙකින් හෝ එයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිට කරුණකින් නොවේ´´.

31. ´´මහණෙනි, ඒ මේ මහණ බමුණෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ගැන ඇදහීම් ඇත්තෝව, අතීතය ගැන කරුණු දහ අටකින් නොයෙක් මත දක්වන වචන කියති. ඒ සියල්ලෝම මේ කරුණු දහ අටෙන් හෝ මොවුන් අතරින් එකකින් හෝ කියති. මෙයින් පිටත වූවක් නොකියති´´.

32. ´´මහණෙනි, අනාගතය කල්පනා කරන්නාවූ, අනාගතය ගැන විශ්වාස ඇති, අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත දක්වන වචන කියන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය´´.

33. ´´මහණෙනි, මරණින් මතු ආත්මයෙහි ලකුණු (සංඥා) ඇත්තේයයි මත ඇති සමහර මහණ බමුණෝ ඇත්තාහුය. මරණින් මත්තෙහි සංඥා ඇති ආත්මයද දහසය ආකාරයකින් ඔවුහු ප්‍රකාශ කරත්.

ආත්මය රූප සහිතය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය අරුපීය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූප ඇත්තේද රූප නැත්තේද වෙයි, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූපයක් නැත්තේමද අරූප නැත්තේ නොවෙයිද වෙයි. ආත්මය කෙළවරක් (අන්තයක්) ඇත්තේ වෙයි. ආත්මය කෙළවරක් නැත්තේ වෙයි. ආත්මය කෙළවරක් ඇත්තේද නැත්තේද වෙයි. ආත්මය කෙළවරක් නැත්තේද නොම නැත්තේද වෙයි. ආත්මය එකම ලකුණු වලින් යුතු වෙයි. ආත්මය නොයෙක් ලකුණු වලින් යුතු වෙයි. ආත්මය ඉතා කුඩා ලකුණු වලින් යුතු වෙයි. ආත්මය සීමාවක් නැති ලකුණෙන් යුතු වෙයි. ආත්මය නොඅනුමාන සැපයෙන් යුතු වෙයි. ආත්මය නොඅනුමාන දුකින් යුතු වෙයි. ආත්මය දුකසැප දෙකෙන් යුතු වෙයි. ආත්මය නොදුකින් යුතු නොසැපෙන් යුතු වෙයි. ඒ ආත්මය නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝ මේ සොළොස් වස්තුවෙන් එසේ ප්‍රකාශ කරත්. නැතහොත් මෙයින් එකකින් ප්‍රකාශ කරත්. මෙයින් පිටතවූ එකකින් ප්‍රකාශ නොකරත්´´.

34. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය මරණින් මතු ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්´´.

35. ´´මරණින් පසු රූප ඇති නිත්‍ය ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය නැති ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය ඇත්තාවූද රූපය නැත්තාවූද ආත්මයක් වෙයි. රූපය නැත්තාවූද අරූපය නැත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් ඇත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් ඇත්තාවූද, අනන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අනන්තයක් නොම ඇත්තාවූද, අනන්තයක් නොම නැත්තාවූද ආත්මයක් වෙයි. එය මරණින් මතු නිත්‍යවූ බැවින් ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්´´.

36. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ මතු නොම සංඥා (ලකුණු) ඇති, නොම අසංඥා (ලකුණක් නුවූදේ) ඇති මත ඇත්තෝ වෙත්. ඔහු කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා නොම අසංඥා කොට පණවත්´´.

37. ´´මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය, නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය, නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. රූපීවූද අරූපීවූද ආත්මය නිත්‍යය, නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය, නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැති ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇත්තාවූද නැත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැත්තාවූද කෙළවරක් නොම ඇත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය, මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්´´.

38. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ සංසාරයක් නැතැයි විශ්වාස කර සත්වයාගේ නැතිවීම, විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරත්´´. ´´පින්වත, සතර මහා භුතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් ර්ෑපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් ත්වන් වීමෙන් නැති වන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳින් නැතිවී ගියේය´´.

39. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත්තේය, එය ඇත්තේ නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ නැත. පින්වත, රූපයක් ඇති, කාම ලෝකයේ හැසිරෙන කෑම කන අන්‍ය දිව්‍ය ආත්මයක් ඇත්තේය. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, ඒ ආත්මය ශරීරයෙන් වෙන්වූ පසු නැතිවී යන්නේය. මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය නැතිවී ගියේ වෙයි´´.

40. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, රූපයක් ඇති, සිත් උපදවන ලද, සියලු අවයව ඇති, දැනීමට උපකාර වන නොපිරිහුන අවයවයන් ඇති අන්‍ය දිව්‍ය ආත්මයක් ඇත්තේය. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යමකින් ඒ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් සිඳෙන්නේය. මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය මනාකොට නැතිවී ගියේ වෙයි´´.

41. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, අන්‍ය හැම කාරණයකින් රූප ලකුණු පිටකිරීමෙන් නැනෙ ලකුණු බැසීමෙන් නොයෙක් ආත්ම ලකුණු අමතක වීමෙන් ආකාශය නිමක් නැතැයි ´´ආකාශානඤ්චායතන´´ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශවී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වෙයි´´.

42. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ´´ආකාශානඤ්චායතන´´ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී සිත කෙළවරක් නැතැයි ´´විඤඤාණඤ්චායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කාලයකදී ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශවී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වෙයි´´.

43. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය.

පින්වත, හැම ආකාරයෙන් ´´විඤඤාණඤ්චායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ´´ආකිඤ්චාඤ්ඤායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳාකාර නැතිවී ගියේ යයි´´ මෙසේ යම් කෙනෙක් සත්වයාගේ නැතිවී යාම, විනාශය, භවය නැතිවී යාම ප්‍රකාශ කරයි´´.

44. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ´´විඤඤාණඤ්චායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ´´ආකිඤ්චාඤ්ඤායතනය´´ නම් බ්‍රහ්ම ලෝකය ඉක්ම කොට මෙය ශාන්තය, මෙය මිහිරියයි ´´නේවසඤ්ඤානාසඤ්ඤායතනය´´ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නොදනියි, නොදකියි. මම එය දනිමි, දකිමි. පින්වත, යම් කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, විනාශ වන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ යයි´´ මෙසේ යම් කෙනෙක් සත්වයාගේ නැතිවී යාම, විනාශය, භවය නැතිවී යාම ප්‍රකාශ කරයි´´.

45. ´´මහණෙනි, සමහර මහණ බමුණෝ (දිට්ඨධම්ම නිබ්බානවාද) මේ ආත්ම භාවයේදීම නිර්වාණය අත්වේයයි අදහන්නෝ වෙති´´.

46. ´´මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ´´පින්වත, යම් දිනෙක මේ ආත්මය පංචකාම ගුණයෙන් යුතුවූයේ, අත්වූයේ ඉන්ද්‍රියයන් පිනවාද, මෙපමණකින්, මේ ආත්මය මේ ආත්ම භාවයේදීම නිර්වාණයට පැමිණියේ වෙයි´´ කියාය´´.

47. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, මේ ආත්මය මෙපමණකින් මේ ආත්මයේම නිවණට නොපැමිණියේ වෙයි. ඊට හේතු කුමක්ද? කම්සැප අනිත්‍යය, දුකය. පෙරළෙන ආකාරය. (කාම සැපයේ) පෙරළීම, වෙනස්වීම නිසා ශෝක, වැළපීම්, දුක්, කණගාටු සහ තද ශෝකය උපදින්නෝය. පින්වත, යම් කාලයකදී ඒ ආත්මය කාමයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, සිත අරමුණට නගා අරමුණෙහි සිත හසුරුවා වීවේකයෙන් හටගත් ප්‍රීති සහිත සැප ඇති පළමුවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත එමපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

48. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙපමණකින් මේ ආත්මයේදී නිවණට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි යම් විසඳා බලන විචාරයෝ වෙත්ද, ඔවුන් නිසා ඒ ධ්‍යානය ලාමක සේ පෙනෙයි. පින්වත, යම් කාලයකදී මේ ආත්මය විසඳා බලන විචාරයින්ගේ සතුටුවීමෙන් සිතේ විශේෂ සතුටු ගතිය සහ එකඟකමින් යුක්තවූ, විසඳා බැලීමෙන් තොරවූ, විචාර රහිතවූ, සමාධියෙන් ඇතිවූ ප්‍රීතිය සහ සැප ඇති දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

49. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙපමණකින් මේ ආත්මයේදී නිවණට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි ප්‍රීතියද, සිතේ උඩඟු බවද හේතුකොට ගෙන ඒ ධ්‍යානය ලාමකයයි පෙනේ. පින්වත, යම් කාලයකදී මේ ආත්මය ප්‍රීතියේ නොඇලීමෙන් සිහි ඇතිව නුවණ ඇතිව උනන්දුවක් ඇතිව වාසය කරයිද, ශරීරයෙන් සැප විඳීද, උත්තමයෝ ය ධ්‍යානයකට උනන්දූ නැතිබව ඇත්තෝය, සිහි ඇත්තෝය, සැප විවේකය ඇත්තෝයයි කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

50. වෙන අයෙක් ඔහුට මෙසේ කියයි.- ´´ඔබ කියන ඒ ආත්මය ඇත, එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙපමණකින් මේ ආත්මයේදී නිවණට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි සැපයයි සිතෙහි ධ්‍යානයෙන් නැගිට නැගිට සැපය නැවත සිහි කිරීම වේද, එයින් එය ලාමකයයි හැඟේ. පින්වත, යම් කලෙක මේ ආත්මය සැප නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුවෙන්ම සතුට අසතුට නැතිව යෑමෙන් දුක නැති සැප නැති උපේක්‍ෂාව නිසා සිහියේ පරිශුධිය ඇති හතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත මෙපණකින් මේ ආත්මය මේ ආත්මයේදීම නිවණට පැමිණියේ වෙයි´´.

51. ´´මහණෙනි, ඒ මහණ බමුණෝ (ලෝක) අවසානය ගැන කල්පනා කර (ලෝක) අවසානය ගැන මත ඇතිකර ගෙන කරුණු හතලිස් සතරකින් (ලෝක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියති´´.

52. ´´මහණෙනි, යම්කිසි මහණ බමුණෝ (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝ වෙත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන කරුණු හැට දෙකකින් නොයෙක් ආකාර මත දක්වන වචන කියති´´.

53. ´´මහණෙනි, මේ කාරණයෙහි මත හැට දෙක අතුරෙන් යමකින් ඒ මහණ බමුණෝ සදාකාලික බවක අදහන්නෝ ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, යම් මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව ආත්මයද ලෝකයද කොටසක් සදාකාලිකයයිද, කොටසක් සදාකාලික නොවේයයිද ප්‍රකාශ කරත්´´.

54. ´´යම් ඒ මහණ බමුණෝ නිමක් ඇත නිමක් නැත යන මතය ඇත්තෝව ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්´´.

යම් ඒ මහණ බමුණෝ (ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කාරණයෙහි ප්‍රශ්න විචාරන ලද්දාහු වචනයන්ගේ වියවුල් ගතියට කෙලවරක් නැති වියවුල් ගතියට පැමිණෙන්ද,

55. යම් ඒ මහණ බමුණෝ අහේතුකව උපන්නේය යන යන මතය ඇත්තෝව ආත්මයද, ලෝකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද,

56. යම් ඒ මහණ බමුණෝ අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව අවසානය ගැන මත ප්‍රකාශ කරත්ද,

මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද,

මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද,

මරණින් මතු ආත්මය ගැන ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥා නාසංඥ) යන මත ඇත්තෝව මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද,

සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු සතකින් සත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද,

මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව සත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, (ලෝක) අවසානය කල්පනා කරන්නෝව (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද,

(ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද,

සදාකාලික බවක අදහන්නෝ ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද,

කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව ආත්මයද ලෝකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද,

එය ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

57. ´´නිමක් ඇත නිමක් නැත´´ යන මතය ඇත්තෝව කරුණු සතරකින් ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කාරණයෙහි ප්‍රශ්න විචාරන ලද්දාහු වචනයන්ගේ වියවුල් ගතියට කෙලවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

58. (ආත්මයද ලෝකයද) අහේතුකව උපන්නේය යන මතය ඇත්තෝව ආත්මයද, ලෝකයද අහේතුකව උපන්නක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

ලෝක අවසානය කල්පනා කර (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

59. ´´මහණෙනි, යම් මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ. (ආත්මය පිළිබඳ) මරණින් මතු ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥා නාසංඥ) යන මත ඇත්තෝව මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ආත්මය ගැන) සංසාරයක් නැතැයි මත ඇත්තෝව සත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව සත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ලෝක) අවසානය කල්පනා කරන්නෝව (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

(ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

සදාකාලික බවක් අදහන්නෝව ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව ආත්මයද ලෝකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

නිමක් ඇත නිමක් නැත යන මතය ඇත්තෝව ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

(ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කාරණයෙහි ප්‍රශ්න විචාරන ලද්දාහු වචනයන්ගේ වියවුල් ගතියට කෙලවරක් නැති වියවුල් ගතියට පැමිණෙත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

අහේතුකව උපන්නේය යන මත ඇත්තෝව ආත්මයද, ලෝකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

60. (ලෝක) අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

61. ´´මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැන ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥානාසංඥ) යන මත ඇත්තෝව මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

සංසාරයක් නැතැයි මත ඇත්තෝව සත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ. මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව සත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

(ලෝක) අවසානය කල්පනා කරන්නෝව (ලෝක) අවසානය ගැන මත ඇත්තෝව (ලෝක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

(ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරත්ද, (ලෝක) අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

62. ´´මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව ආත්මයද ලෝකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝ වෙත්ද, නිමක් ඇත නිමක් නැත යන මත ඇත්තෝ වෙත්ද, (ආඳන් මෙන්) අසුනොවන ගති ඇත්තෝ වෙත්ද, (ආත්මයද ලෝකයද) අහේතුකව උපන්නේය යන මත ඇත්තෝ වෙත්ද, (ලෝක) අවසානය කල්පනා කරන්නෝ වෙත්ද, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝ වෙත්ද, මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝ වෙත්ද, මරණින් මතු ආත්මය ගැන ´´ප්‍රකට සංඥාවක් නැත්තේය´´ (නෙවසංඥා නාසංඥ) යන මත ඇත්තෝ වෙත්ද, සංසාරයක් නැතැයි මත ඇත්තෝ වෙත්ද, මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝ වෙත්ද, (ලෝක) අවසානය කල්පනා කරන්නෝ වෙත්ද, (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරන්නෝ වෙත්ද, අවසානය ගැන කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝම හය ආකාර ස්පර්ශයන්ගේ වෑයමෙන් ස්පර්ශ කොට හැඟීම් ඇතිකර ගන්නාහුය. ඔවුන්ට ´´වේදනාවෙන් තන්හාව වෙයි, තන්හාව හේතුවෙන් තද ඇල්ම වෙයි, තද ඇල්ම හේතුවෙන් භවය වෙයි, භවය හේතුවෙන් (ජාතිය) ඉපදීම වෙයි, ඉපදීම හේතුවෙන් දිරීම, මරණ, ශෝක, වැළපීම්, දුක, කණගාටු, තද වෙහෙස හටගනිත්.

මහණෙනි, යම් කලෙක මහණෙක් හය ආකාර ස්පර්ශ (ස්පර්ශායතනයන්ගේ) උප්පත්තියද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵල විඳීමද තතු ලෙස දනීද ඔහු මේ සියල්ලටම වඩා ඉතා උසස් ධර්මයන් දනී´´.

63. ´´මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරන්නෝ හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෝ හෝ, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය කල්පනා කරන්නෝ හෝ, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෝව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරන අය එහිම මතුවෙන්නාහුය. පාවෙන්නාහුය. – එහි ඇතුළත් වූවාහූ (ජලය යටට ගියාහු) මතුවෙන්නාහු පානෙන්නාහුය.

මහණෙනි, යම් දක්‍ෂ මසුන් මරන්නෙක් විලකට බැස එහි මසුන් සියල්ලෝ දැල ඇතුලට කරන ලද්දාහු එහි බැඳුනාහු, කිමිදෙන්නහුය, පාවෙන්නාහුය.

මහණෙනි, එලෙසින්ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන් ගැන්ම කල්පනා කරන්නෙක්ව හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෙක්ව හෝ, පටන් ගැන්ම අවසානය කල්පනා කරන්නෙක්ව හෝ, (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන මත ඇතිතෙක්ව (ලෝකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝම (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරන ලද්දාහු එහිම මතුවෙන්නාහුය. කිමිදෙන්නහු පාවෙන්නාහුය. එහි ඇතුළත් වූවාහූය, දැල ඇතුළත බැඳුනාහු, මතුවෙන්නාහු පානෙන්නාහුය.

මහණෙනි, යම් සේ අඹ වල්ලේ නටුව කැපුන කල නටුවේ බැඳුන සියළු අඹ ගෙඩි නටුව අනුව යන්නේද, මහණෙනි, එලෙසම භවයට ඇති ආශාව සිඳිනලද තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද, ඒ තාක් දෙව් මිනිස්සු ඒ ශරීරය දකිති. ශරීරය බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුණු බැවින් දෙවි මිනිස්සු තථාගතයන් නොදකිති.

64. මෙසේ වඳාළ කල ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටි සේක. ´´ස්වාමීනි, පුදුමයි. ස්වාමීනි, බොහෝ පුදුමයි. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයට මොනයම් නමක් විය යුතුද?´´

´´ආනන්දය, එසේ වීනම්, මේ ධර්ම ක්‍රමය ´´අර්ථ ජාල´´යයි (නම) දරව, ´´ධර්ම ජාල´´යයිද එය දරව, ´´දෘෂ්ටි ජාල´´යයිද එය දරව, ´´නිරුත්තර සංග්‍රාම විජය´´යයිද එය දරවැයි´´ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මයට පැසසූහ. මේ ගාථා නැති සූත්‍රය (වෙය්‍යාකරණ ධර්මය) දේශනා කරන කල දස දහසක් ලෝක ධාතුව කම්පා විය.

පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමි

Advertisements

4 Comments

  1. Chandima himi

    මොනතරම් නම් සරලද? බොහොම පින්. පින්දෙන්න වචන නැහැ.

  2. Sahiru

    බොහොම පිං!

  3. akila

    සාධු සාධු සාධු !!!

  4. Jayantha

    Budu dahama nirmala dahamaki.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: